වෛද්‍ය ජී. විජේසූරිය ගැන GMOA රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරයි

වෛද්‍ය ජී. විජේසූරිය ගැන GMOA රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කරයි

GMOA/PSC/2023/0014

2023/09/04

සභාපති,

රාජ්‍ය සේවා කොමිෂන් සභාව,

1200/9, රජමල්වත්ත පාර,

බත්තරමුල්ල.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය සේවා - II  වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය  හරහා මතුව ඇති අර්බුදකාරි වාතාවරණය පිළිබද පැමිණිලි කිරීම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සේවා - II  වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හරහා මතුව ඇති අර්බුදකාරි  වාතාවරණය පිළිබදව  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස සෞඛ්‍ය බලධාරින් වෙත දිගින් දිගටම පැමිණිලි කරන ලදී (අදාල පැමිණිලි සියල්ල ඇමුණුම් ලෙස මේ සමග ඉදිරිපත් කරමි).

අප වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබුණු හා ඉන් ඔබ්බට සාක්ෂි හා සාධක සහිතව තහවුරු කරගත් ඊට අදාල පහත කරුණු සාරාංශ ගතව  පහතින් දක්වමු.

  1.  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ  ප්‍රතික්ෂේපිත අනුමැතියක් සහිතව අදාල තනතුරේ රාජකාරි කටයුතු වල දිගින් දිගටම නිරත වීම.
  2. තමන්ට නැති සුදුසුකම් මවා පෙන්වමින්  විශේෂඥ වෛද්‍යවරයෙකු  වශයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීම.
  3. සෞඛ්‍ය ලේකම් විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වීම පිළිබදව නිකුත් කර ඇති චක්‍රලේඛ උල්ලංඝණය කරමින් සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය කඩවන ප්‍රකාශ මාධ්‍ය වලට ලබා දීම.
  4. තම අකාර්යක්ෂම හා අත්තනෝමතික  ක්‍රියා පිලිවෙත හරහා ශ්‍රේණි වෛද්‍ය නිලධාරි ස්ථාන මාරු ක්‍රියාවලිය මුලුමනින්ම ඇණ හිටින තැනට කටයුතු කිරීම.
  5. ශ්‍රේණි වෛද්‍ය නිලධාරි ස්ථාන මාරු බලාත්මක කිරීමේදී දක්වා ඇති අවිධිමත්භාවය හා අකාර්යක්ෂමතාවය.

ඒ අනුව අප විසින් ඉහතින් පෙන්වා දී ඇති බරපතල කරුණු මෙන්ම සෞඛ්‍ය බලධාරින්  වෙත යොමු කල පැමිණිලි පාදක කර ගනිමින් මෙම නිලධාරියා  සම්බන්ධයෙන් සුදුසු කටයුතු  ආරම්භ කරන මෙන්  කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ විසින් මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රමුඛතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා - II තනතුරට අදාල විෂය පථයන් බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සදහා බෙහෙවින් ඉවහල් විය හැකි බව වැඩිදුරටත් පෙන්වා දෙමු.

ස්තූතියි,

මීට විශ්වාසී,

වෛද්‍ය හරිත අලුත්ගේ

ලේකම්

පිටපත් - ලේකම්, සෞඛ්‍ය කමිටුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව

              ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය

              සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

              සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්

              සියලුම සෞඛ්‍ය ආයතන ප්‍රධානින්

              රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියලුම ශාඛා සංගම් ලේකම්වරුන්

              කැදවුම්කරු, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ශ්‍රේණි වෛද්‍ය නිලධාරි ස්ථාන මාරු උප කමිටුව