වෛද්‍යවරුන් පද්ධතියට අහිමි වීමේ සීඝ්‍රතාවය ඉතිහාසයේ කිසි දිනක නොවු අයුරින් ඉහළට - GMOA

වෛද්‍යවරුන් පද්ධතියට අහිමි වීමේ සීඝ්‍රතාවය ඉතිහාසයේ කිසි දිනක නොවු අයුරින් ඉහළට - GMOA

පාලකයින් සහ රජය මේ මොහොතේදී සිදු කළ යුත්තේ රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන්ට වහාම ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටුකර, ඔවුන්ට රට තුළ රැඳී සිටීමට අවශ්‍ය පරිසරය සහ බලාපොරොත්තුවක් ලබාදීම හරහා මේ හේතුවෙන් දැඩි අර්බුදයට ලක්ව තිබෙන ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම බලධාරීන් සතු වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙනුවෙන් රජයන් විසින් ඉතිහාසයේ සිදුකරන ලද දැවැන්තම ආයෝජනයක් වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාවයි. මෙරට ජනතාව සහ ශ්‍රම බලකාය, නිරෝගීව සහ ශක්තිමත්ව පවත්වා ගැනීමට ඉහළම දායකත්වය දක්වා ඇත්තේ ද නිදහස් සෞඛ්‍ය පද්ධතියයි.

සෞඛ්‍ය සේවාවේ වටිනාම සම්පත වන්නේ එහි මානව සම්පතයි. එනම් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඉතා අවම පිරිවැයකින් ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීමෙහි ලා තීරණාත්මක සාධකය බවට පත්ව ඇත්තේ එම සෞඛ්‍ය කාර්යය මණ්ඩලය යි.

නමුත් මේ වන විට ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙමින් පවතින දීර්ඝ කාලීන ප්‍රතිවිපාක සහිත දරුණුම අර්බුදය වනුයේ ද පද්ධතියේ මානව සම්පත අහිමි වීමයි. ප්‍රමාණවත් වැටුපක් නොමැති වීමත්, ආර්ථික අස්ථාවරත්වයත්, යහපත් වෘත්තිය පරිසරයක් නොමැති වීමත් ආදී කරුණු හේතුවෙන් ගෙවුණු කාලයේදී මෙරටට අහිමි වූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රමාණය 1500කට අධිකය. තවත් 5000කට අධික වෛද්‍යවරුන් පිරිසක් ඉදිරියේදී අහිමි වීමේ අවදානමක් ද පවතී.

මෙම ප්‍රවණතාවය හමුවේ මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය නුදුරු අනාගතයේදීම දැඩි අර්බුදයකට ගමන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුරෝකථනය කළේ මීට සැලකිය යුතු කාලයකට පෙරය. එය තහවුරු කරමින් පර්යන්ත රෝහල් පද්ධතිය පමණක් නොව, ප්‍රධාන රෝහල් වල විශේෂඥ වෛද්‍ය ඒකක පවා පවත්වා ගැනීම මේ වන විට දැඩි අභියෝගයකට ලක් වෙමින් පවතී.

වෛද්‍යවරුන් නොමැති වීම නිසා මේ වන විට වැසී ගොස් ඇති සහ වැසී යාමට හෝ අඩපණ වීමට නියමිත රෝහල්/ විශේෂඥ වෛද්‍ය ඒකක පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කරන ලද සමීක්ෂණය හරහා පහත තොරතුරු හෙළිදරව් වී ඇත.

 වැසී ගොස් ඇති රෝහල් සංඛ්‍යාව  20
 ඉදිරියේදී වැසී යාමට නියමිත රෝහල්/ විශේෂඥ වෛද්‍ය ඒකක සංඛ්‍යාව   95
 සේවා අඩපණ වී ඇති රෝහල් / විශේෂඥ වෛද්‍ය ඒකක සංඛ්‍යාව   150
 ඉදිරියේදී සේවා අඩපණ වීමට නියමිත රෝහල් /විශේෂඥ වෛද්‍ය ඒකක සංඛ්‍යාව   167

එමෙන්ම මීට පෙර උපාධිදාරි වෛද්‍යවරුන් සේවය කළ නමුත් මේ වන විට උපාධිදාරි වෛද්‍යවරුන්ගේ හිඟය නිසා ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කර සේවාවන් සීමා සහිතව පවත්වා ගෙන යාමට සිදු වී ඇති රෝහල් 44ක් ද හඳුනාගෙන ඇත.

ත්‍රස්තවාදී යුධ සමයේදී පවා වෛද්‍යවරුන් නොමැතිව මෙතරම් රෝහල් සංඛ්‍යාවක් වැසී ගොස් නොමැති අතර වත්මන් අර්බුදයේ බරපතල බව ඒ හරහා තවත් තහවුරු වේ.

තවමත් අප අත්දකිමින් සිටින්නේ අර්බුදයේ ආරම්භය පමණක් බවත්, රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන්ට වහාම ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කර ඔවුන් රැක ගැනීමට අපොහොසත් වුවහොත්, එය නුදුරේදීම ඛේදවාචකයක් කරා ගමන් කරන බවත් අපගේ පුරෝකථනයයි.

ඒ හරහා අවසානයේ දී මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීමෙන් එහි වින්දිතයින් බවට පත්වන්නේ මේ රටේ අහිංසක ජනතාව වන අතර ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය ද අවදානමට ලක් වනු ඇත.

මෙරට පුරවැසියන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා වීමට නම්, සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා විය යුතුමය. ජන ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. ඒ වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීම ද රජයට සහ බලධාරීන්ට කිසිසේත් අත්හළ නොහැකි වගකීමකි.

එම වගකීම සංවේදීව සහ නිවැරදිව හඳුනා ගන්නේ නම්, පාලකයින් සහ රජය මේ මොහොතේදී සිදු කළ යුත්තේ රට තුළ රැඳී සිටින වෛද්‍යවරුන්ට වහාම ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටුකර, ඔවුන්ට රට තුළ රැඳී සිටීමට අවශ්‍ය පරිසරය සහ බලාපොරොත්තුවක් ලබාදීම හරහා ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය ආරක්ෂා කර ගැනීමයි.