රාජ්‍ය වෛද්‍ය පීඨ අර්බූදය විසඳීමට GMOA සැලැස්මක්

රාජ්‍ය වෛද්‍ය පීඨ අර්බූදය විසඳීමට GMOA සැලැස්මක්

මේ මොහොත වන විට ස්ථාපිත වී ඇති රාජ්‍ය වෛද්‍ය පීඨ තුල මතුව ඇති හා මතුවෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් සඳහා වෛද්‍ය සභාවේ මඟ පෙන්වීම යටතේ ප්‍රායෝගික හා නිත්‍යානුකූල විසඳුම් ලබා දිමේ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ උපරිම සහයෝගය ප්‍රකාශ කරමින් යෝජනා මාළාවක් ඉදිරිපත් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

නිසි සැලසුමක් හා අධ්‍යයනයක් නොමැතිව හා අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන සිදු කරන කටයුතු හරහා මතුව ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි අභියෝග. 

ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහි වීම සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. 

වෛද්‍ය වෘත්තිය මිනිස් ජීවිත සමඟ තීරණාත්මක ලෙස බැදි පැවතීම ඉහත අවශ්‍යතාවයේ වැදගත්කම තවදුරටත් ඉහල නංවයි.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව ක්‍රියාත්මක විය. ඒ සඳහා තවදුරටත් අගය එකතු කරමින් ලෝක වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිකරණ නිර්ණායක වලට අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිගැනීමට ලක් වූයේ මීට ටික කලකට ඉහතදීය. ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාව හැරුණු විට එවන් කීර්තිනාමයක් හිමි කර ගත් වෙනත් රටවල් ඇත්තේ 2 ක් පමණි. ශ්‍රී ලංකාවෙන් බිහි වන වෛද්‍යවරුන් සඳහා ලෝකය පුරා ඉහළම ඉල්ලුමක් ලැබි ඇත්තේ මේ නිසාය.

තත්ත්වය එසේ තිබියදි මෑත කාලීනව දුටු නිසි සැලසුමකින් තොර හා අතීත අත්දැකිම් හරහා පාඩම් උගෙන නොගත් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය අභියෝග රාශීයකට මුහුණ දෙමින් සිටියි.

මේ වන විට ආරම්භ වී ක්‍රියාත්මක වන වයඹ, සබරගමුව හා මොරටුව වෛද්‍ය පීඨ ආශ්‍රිතව මතුවී ඇති හා මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යුතුය.

විශේෂයෙන්ම සබරගමුව වෛද්‍ය පීඨය තුල මතුව ඇති අවසන් වසරේ සිසුන්‌ගේ පුහුණුවට අත්‍යවශ්‍ය මහාචාර්ය ඒකකයන් පවා නිශ්චිත ලෙස ස්ථාපිත නොවු අවාසනාවන්ත තත්ත්වය වහා නිවැරදි විය යුතුය. උසස් පෙල ඉහළම ප්‍රතිඵල සහිතව රාජ්‍ය වෛද්‍ය පීඨයන්ට සුදුසුකම් ලබන සිසුන් මහ පාරට ඇද වැටීමේ ඛේදජනක යථාර්තයට බලධාරීන් දක්වන ප්‍රතිචාර පිළිබඳව තවමත් ඇත්තේ අපැහැදිලි පසුබිමකි.

වෙනත් කිසිදු ක්ෂේත්‍රයක නොවන අයුරින් වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීමේදි අවධානයට යොමු විය යුතු පහත දැක්වෙන සීමාකාරි සාධක කෙරෙහි නිසි අවධානය යොමු කරමින් කටයුතු කිරීමත්, සිහින ලෝක වල සිටිමින් හුදු ජනප්‍රියවාදී තීන්දු තීරණ වලට නිසි සැලසුමකින් තොරව එළඹීමත් වර්තමාන අර්බුදයට ප්‍රධාන ලෙස හේතු වී ඇත.

හඳුනාගත් සීමාකාරි සාධක

1.            ඉගෙනුම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය පුහුණුව හා අත්දැකීම් සහිත මහාචාර්යවරුන් හා ආචාර්ය මණ්ඩල.

2.            සායනික පුහුණුව සඳහා සුදුසු ශික්ෂණ රෝහල්.

3.            වෛද්‍ය උපාධියෙන් පසු අනිවාර්ය සීමාවාසික පුහුණුව ලැබීම සඳහා ගැලපෙන පහසුකම් සහිත රෝහල් පද්ධතියක්.

අද වන විට ඉහත සාධක වල දැඩි සීමා සහිත බව නිසා මේ වන විට ස්ථාවරව පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වල පාඨමාලාවන් පවා ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගනිමින් ඉදිරියටත් පවත්වා ගැනීම දැඩි අභියෝගාත්මක වී ඇත.

රට තුල වෛද්‍ය අධ්‍යාපනය පුලුල් වීම නිසි සැලැස්මක් සහිතව හා අතීතයෙන් උගත් පාඩම් අනුව සිදු නොවනුයේ නම් ප්‍රතිඵල අර්බුදකාරි වනු නොඅනුමානය.

මේ වන විට හෙළිදරව්  වී ඇති තොරතුරු අනුව ඉදිරියේදී  විවෘත කිරීම සඳහා පිඹුරුපත් සැකසෙන රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ හරහා මතු විය හැකි අනතුරුදායක තත්ත්වය  පිළිබඳ  විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුමය.

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ විසින් ආචාර්ය මණ්ඩල ආකර්ශණය කර ගැනීම සඳහා ලබා දීමට නියමිත සුවිශේෂ  ප්‍රතිලාභ හා වරප්‍රසාද හරහා දැනට ස්ථාවරව පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වල ඉගෙනුම් ක්‍රියාවලියට අදාල මානව සම්පතට එල්ල වීමට නියමිතව ඇත්තේ මරු පහරකි.

එමෙන්ම නිසි සැලසුමකින් හා ඉදිරි දැක්මකින් තොරව අලුතින් ආරම්භ කිරීමට නියමිත ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය වැනි රාජ්‍ය වෛද්‍ය පීඨ හරහා ද සමස්ථ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය  හා ප්‍රමිතියට ඍණාත්මක  බලපෑම් එල්ල වනු ඇත.

ඒ අනුව වෛද්‍ය අධ්‍යාපන ක්ෂෙත්‍රය තුළ මතු වීමට නියමිත ඉදිරි අභියෝග නිසි ලෙස කලමනාකරණය කරගනිමින් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගනිමින් රෝගීන්ගේ ජීවත්වීමේ අයිතියට නිසි වටිනාකමක් ලබා දෙන ගුණාත්මක වෛද්‍යවරුන් බිහි කිරීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා පහත අත්‍යාවශ්‍ය කොන්දේසි සම්පූර්ණ විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දැඩි ලෙස අවධාරණය කරමු.

1.            වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ඕනෑම පුලුල් කිරීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම ප්‍රමිති නිර්ණායකයන්ට යටත්ව සිදුවිය යුතුයි.

2.            විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වපසරියට යටත්ව විය යුතුයි.

3.            මූලික ශක්‍යතා අධ්‍යනයකින් හෙළිවන තොරතුරු හා සංඛ්‍යා ලේඛන මත පදනම් වන පුලුල් කිරීමක් පමණක් විය යුතුයි.

4.            වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීම සඳහා බලපාන ඉහත පෙන්වාදුන් සීමාකාරි සාධක පිලිබද අනිවාර්ය හැදෑරීමකින් පසුව පමණක් ආරම්භ විය යුතුය.

5.            සෘජු හා වක්‍ර ලෙස දැනට ස්ථාපිත රාජ්‍ය වෛද්‍ය පීඨයන්හි ගුණාත්මකභාවය හා ප්‍රමිතිය කෙරෙහි ඍණාත්මක බලපෑම් එල්ල නොකළ යුතුය

6.            පාර්ශවකරුවන් සමඟ පුලුල් කථිකාවතකින් පමණක් නිත්‍යානූකූල ප්‍රවේශයන් ඔස්සේ සිදු කල යුතුය.

7.            ලෝකය පුරා අනිකුත් රටවලින් ලබා ගත හැකි අත්දැකීම් භාවිත කරමින් කටයුතු කල යුතුය.

8.            ශ්‍රී ලංකාව තුල අනිකුත් වෘත්තීය ක්ෂේත්‍ර සැලසුම් රහිතව පුලුල් කිරීම හරහා මේ වන විට මතුව ඇති ප්‍රවණතා අත්දැකීම් ලෙස භාවිත කල යුතුය.

මේ මොහොත වන විට මතුවෙමින් පවතින බැරූරැම් ප්‍රවණතාවයන් ගණනාවක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස නිරන්තර සැලකිල්ලෙන් පසු වන බව දන්වා සිටිමු.

සැබෑ අවශ්‍යතා හඳුනා ගනිමින් විද්‍යාත්මක ප්‍රවේශයක් හරහා සිදු කරන වෛද්‍ය අධ්‍යාපනයේ වැඩිදියුණු කිරීම් සඳහා පමණක් ඉඩ කඩ විවර විය යුතු බව අප සංගමයේ මතයයි. 

මේ මොහොත වන විට ස්ථාපිත වී ඇති රාජ්‍ය වෛද්‍ය පීඨ තුල මතුව ඇති හා මතුවෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් සඳහා වෛද්‍ය සභාවේ මඟ පෙන්වීම යටතේ ප්‍රායෝගික හා නිත්‍යානුකූල විසඳුම් ලබා දිමේ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ උපරිම සහයෝගය ප්‍රකාශ කර සිටිමු.