පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වහාම ජාතික ආපදා සූදානම ශක්තිමත් කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටීමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ අවධාරණය කර ඇත්තේ,
මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් තීව්‍ර වන බවට ලකුණු පෙනෙන්නට තිබේ. පසුගිය වසරේ ඇති වූ දරුණු ගංවතුර, නායයාම් සහ ප්‍රබල සුළං තත්ත්වයන් හේතුවෙන් රටේ ජනතාවට පමණක් නොව, වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සහ සෞඛ්‍ය සේවා පද්ධතියටද දැඩි බලපෑම් එල්ල විය. හලාවත මහ රෝහල, මහියංගණය මූලික රෝහල ඇතුළු සෞඛ්‍ය ආයතන රැසකටද සැලකිය යුතු හානි සිදුවූ අතර, බොහෝ සෞඛ්‍ය සේවකයින් පෞද්ගලිකවද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ.
එවැනි ව්‍යසනයකින් සෞඛ්‍ය සේවාව තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් නොවූ පසුබිමක, නැවත එවැනි ආපදා තත්ත්වයකට රට මුහුණ දීමට සිදුවුවහොත් එය දරා ගැනීම අතිශය අපහසු වනු ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි ජනාධිපතිතුමා වෙත ලිඛිතව දැනුම් දී, ජාතික මට්ටමේ ආපදා සදහා සූදානම් වීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින්නෙමු. එහිදී වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සහ රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජනතාවගේ ජීවිත හානි අවම කිරීම සහ සෞඛ්‍ය සේවාවන් ප්‍රධාන අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගත යුතු බව අවධාරණය කරන ලදී.
එමෙන්ම සෞඛ්‍ය ලේකම්තුමා වෙතද ලිඛිතව දැනුම් දී, සියලු රෝහල්වල ආපදා සූදානම සහ ඒ සදහා කටයුතු කිරීම පිලිබදවත් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව, අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ සංචිත, විදුලිය හා ජල සැපයුම් සඳහා විකල්ප සැලසුම් සහ හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ වහාම සමාලෝචනය කර සක්‍රීය කරන ලෙස ඉල්ලන ලදී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප මේ වන විටත් දිවයින පුරා පිහිටි සියලු ශාඛා සමිති මෙම පූර්ව ආපදා සූදානම පිළිබදව දැනුවත් කර ඇති අතර, ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සූදානමෙන් සිටින ලෙස උපදෙස් ලබා දී ඇත.
මෙය දේශපාලනික කරුණක් නොව, රටේ ජනතාවගේ ජීවිත, සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සහ ජාතික සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩ පැවැත්ම සම්බන්ධ ජාතික වගකීමකි. එබැවින් අදාළ සියලු රාජ්‍ය ආයතන උපරිම සූදානමෙන් කටයුතු කරන ලෙසත්, ජනතාවද නිල ආපදා අනතුරු ඇඟවීම් පිළිපදිමින් ආරක්ෂිතව කටයුතු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.
