නව රජයෙත් තොරාගත් අයට පමණක් ඇඟලි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මකද ? - GRTA

health-ministry-sl-fingerprint

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේදී තෝරාගත්තු වෘත්තික කණ්ඩායම්වලට පමණක් විශේෂ වරප්‍රසාද ලබාදෙමින් සිදු කළ ආකාරයෙන්ම, නව රජය යටතේ සිදු නොවනු ඇති බවත්, නව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාවේ තෝරාගත් වෘත්තීකයන්ට පමණක් ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතාවට විරෝධය පලකරන බවත්, මේ පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඉල්ලමින්,  පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊට අනුබද්ධ ආයතනවල සමහර පරිපාලකයන් පහුගිය කාලයේ සෞඛ්‍ය සේවාවේ තෝරාගත් වෘත්තිකයන්ට පමණක් පැමිණීම පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිතා කරන ලෙස උපදෙස් ලබාදුන් අතර මේ වන විට නැවතත් වටයකින් දිවයිනේ සමහර ප්‍රදේශවල සෞඛ්‍යායතනවල වෛද්‍ය පරිපාලකයන් තෝරාගත් වෘත්තිකයන්ට පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිතා කිරීමට බලපෑම් කරමින් සිටී.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙන් අප පැහැදිලිව අපගේ මතය මේ සම්බන්ධව ප්‍රකාශ කර ඇත. පරිපූරක වෛද්‍යවෘතීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙන් අප, රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය  වශයෙන් ඇඟිලි සලකුණු යන්ත්‍ර යෙදවීමට තීරණය කරන්නේ නම් ඊට සහයෝගය ලබාදීමට එකඟ වන අතර එසේ එකඟතාවය පළ කරන්නේ සෞඛ්‍ය සේවාවේ සමස්ත වෘත්තිකයන්ට එම කොන්දේසිය බලපවත්වන්නේ නම් පමණි.

එසේ නොමැතිව තෝරාගත් වෘත්තික කණ්ඩායම් වෙත පමණක් මෙම තත්ත්වය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ කරන්නේ නම් ඒ සම්බන්ධව අපගේ විරෝධය පළ කරන බව දන්වා සිටී.

පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තිකයන් සාමාන්‍ය රාජකාරියෙන් පසු රෝගියෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් සිදුකරන ඕනෑම කැඳවීමකදී සේවාව අඛන්ඩව ලබාදෙන ඇමතුම් රාජකාරි සේවාවට අයත් වෘත්තික කණ්ඩායමක් වේ. මේ දක්වා අප වෘත්තිකයන් ඉටුකරන ඇමතුම් සේවා සඳහා රජය විසින් ප්‍රවාහන දීමනාවක් හෝ ප්‍රවාහන පහසුකම් සැපයීමක්, තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමක් හෝ සිදු නොකලත් රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් අප නිලධාරීන් තවදුරටත් සේවාව ලබාදෙමින් සිටී.

ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ මෙම ගැටළු සම්බන්ධයෙන්ද කඩිනම් අවධානය යොමු කරන ලෙස මේ වන විටත් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලයේදී තෝරාගත්තු වෘතික කණ්ඩායම්වලට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සිදු කළ ආකාරයේ හැසිරීමක් නව රජය යටතේ සිදු නොවනු ඇති බව අප බලාපොරොත්තු වන අතර, නව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි අප බලාපොරොත්තුවේ.