යාපනය ශික්ෂණ රෝහලේ ස්වේච්ඡා සේවකයන්ගේ ගැටළුව විසඳන්න සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානමක

nalinda-jaffna-hospital

වසර තුනකට අධික කාලයක් යාපනය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ ස්වේච්ඡා සේවයෙහි යෙදෙන 300 කට අධික සේවකයන් පිරිසක් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට කරුණු ඉදිරිපත් කිරීම සදහා එම සේවකයන්ගේ නියෝජිතයන් පිරිසක් (26) දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පුර්ව දැනුම්දීමකින් තොරව පැමිණ සිටින ලදී.

පැමිණි සිටි පිරිස අමාත්‍යවරයා හමු වී සාකච්ඡා සිදු කළ අතර, එහිදී ඔවුන්  පෙන්වා දෙන ලද්දේ වසර ගණනාවක සිට තමන් යාපනය ශික්ෂණ රෝහල තුල සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩල රාජකාරී වලට අදාලව සිය ස්වේච්ඡා සේවාවන් සපයන බවයි. සිය සේවාව ස්ථීර කිරීමට පියවර ගන්නා ලෙස ඔවුහූ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබීය.

ඉහත කරුණූ පිළිබදව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ මුලික සාකච්ඡාවක් පවත්වා අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටි අනෙකුත් ස්වේච්ඡා සේවකයින් හමුවට පැමිණි අතර, එම පිරිස සමඟ සුහඳව කථාබස් කරමින් එම සේවකයින්ගේ ගැටළුව පිළිබද සිය අවධානය යොමු කරන ලදි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින් අමාත්‍යවරයා කියා සිටියේ යාපනය ශික්ෂණ රෝහල තුල ස්වේච්ඡාවෙන් සේවය කළ තරුණ තරුණයින් පිරිසක් සිය වෘත්තීය ගැටළුවකට විසදුම් බලාපොරොත්තුවෙන් තමා හමුවී සාකච්ඡා කිරීමට යාපනයේ සිට කොළඹට පැමිණි සිටි බවත්, එම පිරිස සමඟ තමා ඉතා දීර්ඝ ලෙස සාකච්ජා කල බවයි.

වසර 03 කට වඩා වැඩි කාලයක් මෙම පිරිස යාපනය ශික්ෂණ රෝහල තුල ස්වේච්ඡා සේවය සිදු කර තිබෙන බව සහ විශේෂයෙන්ම මෙම පිරිසේ සහයෝගය ඇතිව රෝහල් සේවා පවත්වාගෙන යන බව මෙහිදී අනාවරණය වු බවත්, අමාත්‍යවරයා මෙහිදී සදහන් කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු නිලධාරීන් සමග මෙම ගැටළුව පිළිබදව තමා සාකච්ඡා කළ බවත්, මෙම පිරිසට සාධාරණයක් ඉටු කර දීමට ඇති හැකියාව පිළිබදව තමා කඩිනමින් සොයා බලන බවද, ඒ මහතා වැඩිදුරටත් පැවසීය.