ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගී වීමට ආරාධනා ලැබී සිටි අඩු අදායම් රටවල වෘත්තීය සමිති නායකයින්ට සිදුවූ වීසා බාධාකිරීම් ගෝලීය ශ්‍රමික හඬට සිදුවූ අසාධාරණයක්ද? යන්න සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.
එනම් ලෝකය පුර සිටින ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සහ රැකියා කොන්දේසි පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවන් සිදුවන ජාත්‍යන්තර කම්කරු සමුළුව (International Labour Conference) මේ දිනවල ජිනීවා නුවරදී පැවැත්වෙන අතර, ඒ හා සමගාමීව ආර්ථිකය Platform Economy නමින් හදුන්වන කුලී රථ සේවාවන් හා භාණ්ඩ බෙදා හැරීම් වේදිකා තුළ කම්කරු අයිතිවාසිකම් තහවුරු කිරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමුව තිබේ.
කෙසේ වෙතත්, මෙම සමුළුවට සහභාගී වීමට ආරාධනා ලබා සිටි දකුණු ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව ඇතුළු 'ගෝලීය දකුණේ' (Global South) රටවල් නියෝජනය කරන වෘත්තීය සමිති නායකයින් රැසකට වීසා බලපත්‍ර ලබාගැනීමේ බරපතල ගැටලු මත සිය සහභාගීත්වය අහිමිවී ඇතැයි වාර්තා වේ.
සමීප ආරංචි මාර්ග පවසන පරිදි, ඉකුත් වසරේද එම සමුළුවට සහභාගී වූ නායකයින් විසින් කිසිදු වෙනසකින් තොරව මෙවර ද අදාළ ලේඛන ඉදිරිපත් කර තිබියදීත්, ඔවුන්ගේ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබීම විමතියකි.
ජංගම දුරකථන කුලී රථ ඇප් වැනි නවීන සහ සංකීර්ණ ආර්ථිකය ක්ෂේත්‍රයක් පිලිබදව සිදුවන මෙම සමුළුවේදි සාකච්ඡාවට ගන්නා තීන්දු තීරණ සමබර වීම සදහා සේවක ගැටලු පිළිබඳව බිම් මට්ටමේ ප්‍රායෝගික හා විශේෂඥ අත්දැකීම් ඇති වෘත්තිකයන්ගේ හඬ අත්‍යවශ්‍ය සාධකයක් බව විචාරකයෝ පෙන්වා දෙති. වීසා බාධක හේතුවෙන් කරුණකිමෙම නායකයින්ට සාකච්ඡා මේසයට පැමිණීමට නොහැකි වීම, එම ක්ෂේත්‍රයේ මිලියන සංඛ්‍යාත සේවකයින්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ ක්‍රියාවලියට විශාල බාධාවක් බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල නියෝජිතයින්ට ජාත්‍යන්තර වේදිකාවලට පිවිසීම සඳහා බටහිර රටවල්වල පවතින වීසා කොන්දේසි, විශේෂයෙන්ම අඩු ආදායම් ලබමින් ඉහල බැංකු ශේෂයන් පවත්වා ගැනීම වැනි කරුණු, බොහෝ වෘත්තීය සමිති නායකයින්ට ප්‍රායෝගිකව ඉතා විශාල බාධාවක්ව පවතී. ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් සකස් වීමේදී සියලුම කලාප නියෝජනය කිරීමේ අයිතිය පවා මෙම වීසා ක්‍රමවේදයන් හරහා උල්ලංඝනය වන බව බොහෝ පාර්ශ්වයන්ගේ මතයයි.
ගෝලීය වශයෙන් ශ්‍රමික අයිතිවාසිකම් පිළිබඳ කතිකාවතක් නිර්මාණය වුවද, සැබෑ නියෝජනය සහභාගීත්වය සහතික කර ගැනීමට මෙම වීසා ක්‍රමවේදයන් වහාම ප්‍රතිසංස්කරණය විය යුතු බව වෘත්තීය සමිති නායකයින්ගේ අදහසයි.
| චරිත් අත්තනපොල

