ILO C 190 සම්මුතියට කරන්න යන දේ ගැන කම්කරු අමත්‍යතුමා රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමියට පවසයි

nimal-siripala-de-silva

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිනී කුමාරි විජේරත්න මැතිතුමිය විසින් 2022.03.08 දින පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේදී ජාත්‍යාන්තර කම්කරු සංවිධානය අනුමත කරන ලද C 190 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාදයට හේතු කුමක්දැයි ප්‍රශ්න කර ඇත.

එම අවස්ථාවේදී මාගේ රාජ්‍ය අමාත්‍යවරයා මෙම කාරණය පිළිබඳව විස්තරාත්මක ප්‍රකාශයක් මා විසින් කරනු ලබන බව මෙම ගරු සභාවට දැනුම් දී ඇත. ඒ අනුව, C 190 සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරනුමත කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධයෙන් ඇති අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා කම්කරු අමාත්‍යාංශය වශයෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මෙම  ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2019 වර්ෂයේදී පැවති 108 වන සැසිවාරයේදී මෙම C 190 සම්මුතිය සම්මත කරන ලද අතර, මේ වනවිට ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, ෆීජි, ග්‍රීසිය, ඉතාලිය, මොරිෂස්, නැම්බියාව, සෝමාලියාව, දකුණු අප්‍රිකාව හා උරුගුවේ යන රටවල් පමණක් දැනට මෙම සම්මුතිය අපරානුමත කර (Ratify) ඇති අතර, මේ තුළ එකදු ආසියානු රටක්වත් මෙම සම්මුතිය මේ දක්වා අපරානුමත කර නොතිබීම විශේෂ කරුණකි. 2019 නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් එම යෝජනාව සම්මත වූ බවට ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දීමෙන් පසු, අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව 2020 ජනවාරි මස 07 වන දින මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී. ඒ අනුව, පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පිණිස අදාළ සම්මුතියෙහි අඩංගු කරුණු ඉදිරිපත් කරන ලද නමුත් 2020 වර්ෂයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හා කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමේ කටයුතු ප්‍රමාද වූ හෙයින් 2020 වසරේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාවක් නොවීය (ඇහිරිණි). එසේ වුවද, 2021 මාර්තු මස 04 වන දින නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී.

එසේ ලැබූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව 2021 අප්‍රේල් මස 05 වන දින සම්මුතියට අදාළ ලේඛන මාගේ අත්සනින් පාර්ලිමේන්තුව වෙත  ඉදිරිපත් කරන ලද අතර, 2021 මැයි මස 03 වන දින සභා නායක ලේකම් කාර්යාලය මගින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2019 වසරේ පැවති 108 වන සැසි වාරයේදී පිළිගනු ලැබූ නිර්දේශය 2021 මැයි මස 04 වන දින පැවති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්තුමාගෙන් ඉල්ලීමක් කර ඇත. 2021 ජූලි 08 දින පැවති අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී සභාගත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යොමු කර ඇත.

තවද, මේ සම්බන්ධයෙන්  2021 ජූලි මස 13 දින පැවති ජාතික කම්කරු උපදේශන සභාවේදී සේවා යෝජකයන් විසින් මේ සම්මුතිය පිළිබඳ නිසි අධ්‍යයනයකින් තොරව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සාමාජික රටක් වූ පමණින්ම හදිසියේ මෙම සම්මුතිය සම්මත කිරීමට කටයුතු නොකරන ලෙස හා මේ පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතුව ඇති බව පෙන්වා දෙන ලදී.

ඒ අනුව, සිදුකරන ලද මූලික පරතර විශ්ලේෂණයේදී හඳුනාගත් පරිදි දැනට බල පැවැත්වෙන නීතියේ පහත පරිදි සංශෝධන කිහිපයක අවශ්‍යතාවක් පවතී.

i.              "සේවකයා" යන නිර්වචනයට සංශෝධනයක් හෝ දැනට බලපැවැත්වෙන ලිඛිත නීතියේ සඳහන් පරිදි "සේවකයා" යන වචනය පුළුල් ලෙස නිර්වචනය සිදුකළ යුතුය.

ඒ අනුව සම්මුතියේ සඳහන් පරිදි , "මෙම සම්මුතිය ජාතික නීතිය හා භාවිතය මඟින් අර්ථ නිරූපණය කර ඇති සේවකයින් මෙන්ම තම ගිවිසුම්කර තත්වය කවරක් වුවද, සේවයේ නිරත තැනැත්තන්, සීමා වාසිකයන් සහ ආධුනිකයන් ඇතුළුව පුහුණුව ලබන තැනැත්තන්, සේවා නියුක්තිය අවසන් කරනු ලැබ ඇති සේවකයින්, ස්වේච්ඡා සේවකයින්, රැකියා අපේක්ෂකයින්, රැකියා අයදුම්කරුවන් සහ සේවා යෝජක අධිකාරී බලය, රාජකාරී හෝ වගකීම් ක්‍රියාවට නංවන තැනැත්තන් ආරක්ෂා කරයි. එමෙන්ම, රාජ්‍ය හෝ පුද්ගලික වුවත්, විධිමත් සහ අවධිමත්  ආර්ථිකය යන දෙකෙහිම සහ නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශ තුළ වුවත් මෙම සම්මුතිය සියළු අංශවලට අදාළ වේ.”

නමුත් දැනට බලපැවැත්වෙන කම්කරු නීතියට අනුව ස්වේච්ඡා සේවකයින්, රැකියා අපේක්ෂකයන් හා රැකියා අයදුම්කරුවන් ආවරණය නොවන බැවින්, සංශෝධන අවශ්‍යව ඇත.

   ii.                          දැනට බලපැවැත්වෙන කම්කරු නීති රීති විධිවිධානයන්ට අනුව ආවරණය වන්නේ සේවා ස්ථානය හා සම්බන්ධ සිද්ධි පමණකි. නමුත් මෙම සම්මුතිය මගින් වැඩ ලෝකය තුළ සිදුවන සිද්ධි පිළිබඳ ආවරණය ලබා දෙන හෙයින් කම්කරු නීති බොහොමයක් වැඩ ලෝකයේ සිදුවන සිද්ධි වලට ආවරණය සැලසෙන පරිදි සංශෝධනය විය යුතුය.

ඒ අනුව මෙම සම්මුතිය,

(අ)       සේවා ස්ථානයක් වන්නා වූ රාජ්‍ය හෝ පුද්ගලික අවකාශ ඇතුළුව සේවා ස්ථානයේ දී;

(ආ)      සේවකයාට වැටුප් ගෙවනු ලබන, විවේකයක් හෝ ආහාර ලබා ගන්නා ස්ථාන හෝ සනීපාරක්ෂක, සේදීමේ සහ ඇඳුම් මාරු කිරීමේ පහසුකම් ඇති ස්ථාන වල;

(ඇ)      සේවය ආශ්‍රිත ගමන්, සංචාර, පුහුණුව, උත්සව හෝ සමාජ ක්‍රියාකාරකම් අතරතුර;

(ඈ)      තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මඟින් බල ගන්වනු ලැබූ ඒවා ඇතුළුව, සේවය ආශ්‍රිත සන්නිවේදන මුළුල්ලෙහි;

(ඉ)       සේවායෝජක සපයනු ලැබූ නවාතැන් වල; සහ

(ඊ)        සේවා ස්ථානය වෙත සහ සේවා ස්ථානයේ සිට ගමන් කිරීමේ දී;

වැඩ ලොව තුළ සේවය අතරතුර සිදුවන, සේවයට සම්බන්ධ හෝ සේවයෙන් පැන නඟින ප්‍රචණ්ඩත්වය සහ හිංසනයන් සඳහා අදාළ වේ.

නමුත් දැනට බලපැවැත්වෙන කම්කරු නීති මගින් සේවා ස්ථානය වෙත සහ සේවා ස්ථානයේ සිට ගමන් කිරීමේදී පැන නඟින ප්‍රචණ්ඩත්වය සහ හිංසනයන්ට අදාළ සිද්ධි ආවරණය නොකරන හෙයින් මේ පිළිබඳව සේවා යෝජකයන්ගේ එකඟත්වය ලබා ගැනීම වැදගත්ය. මන්ද, ඔවුන් සෘජුවම පාලනයෙන් තොර ක්‍රියාකාරකම් සඳහා මෙමඟින් වගකීමට බැඳෙන බැවිනි.

iii.                            දැනට බල පැවැත්වෙන කම්කරු නීතිය තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනයට අදාළව පිළියම් සඳහා ප්‍රතිපාදන නොමැති අතර, මෙම සම්මුතිය මඟින් ඒ පිළිබඳ පිළියම් හා වින්දිතයන්ට සහාය වීම පිළිබඳව ප්‍රතිපාදන සැලසිය යුතු බව දක්වා ඇත. එහෙයින්, කම්කරු නීතිය තුළ සිදු කළ යුතු සංශෝධන හඳුනා ගෙන ඒවා කම්කරු නීතිය තුළට හඳුන්වා දෙන ප්‍රතිපාදන ඇතුළත් කළ යුතුව ඇත. මෙය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, සේව්‍ය හා සේවක දෙපාර්ශවයට මෙන්ම අනෙකුත් පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා වලට ඇහුම්කන් දී සැමට පිළිගත හැකි නීති ප්‍රතිපාදන හඳුන්වා දීමට කටයුතු කළ යුතුය.

iv.           වැඩ ලෝකය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය හා හිංසනය වළක්වා ගැනීම හා ඒ පිළිබඳ ක්‍රියා කිරීමට සේවායොජකයන් විසින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හා නිසි යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු බවට, දැනට කම්කරු නීතිය තුළ ප්‍රතිපාදන නොමැති බැවින්, අදාළ සංශෝධනයන් හඳුනාගෙන ඒවා කම්කරු නීතියට ඇතුළත් කිරීමට ඔවුන්ගේ හා සේවක පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සලකා බලා කටයුතු කළ යුතුව ඇත.

එමෙන්ම, තවදුරටත් මෙම සම්මුතිය පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට අදාළව පහත පියවරයන් ගත යුතුව ඇත.

(අ)       විස්තරාත්මක හා පුළුල් පරතර විශ්ලේෂණයක් කිරීම

(ආ)      කම්කරු නීතියට සිදුවිය යුතු සංශෝධන හඳුනා ගැනීම

(ඇ)      වෘත්තීය සමිති හා සේවායෝජකයන් ඇතුළුව අදාළ පාර්ශව සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීම

(ඈ)      එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් අනතුරුව දැනට බලපැවැත්වෙන කම්කරු නීතිය තුළට අදාළ සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කළ යුතුය

(ඉ)       එම සංශෝධනයන් සඳහා නීතිපති සහතිකය ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය

(ඊ)        පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම

(උ)       සම්මත කිරීමේ පත්‍ර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තැන්පත් කිරීම

2021 අප්‍රේල්  මස 05 වන දින සම්මුතියට අදාල ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, මෙම සම්මුතියේ සඳහන් යෝජනා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිස 2021 මැයි මස 04 දින පැවති පාර්ලිමේන්තුවට සභාගත කර ඇත. ඊට වැඩිමනත් වශයෙන් 2021 ජූලි මාසයේදී, ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙතද මෙම සම්මුතිය සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමන් විසින් හා නිලධාරීන් විසින් පැහැදිලි කිරීම් සහිතව කරුණු ඉදිරිපත් කරන ලද අතර, එහි සාකච්ඡාවලින් අනතුරුව විශේෂ කාරක සභාවේ නිර්දේශ ඉදිරියේදී ලබා දීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පනත් කිහිපයකම සංශෝධන කිරීමක් අවශ්‍ය බව මූලික පරතර විශ්ලේශණයේදී හඳුනාගෙන ඇති හෙයින්, තවදුරටත් මේ සම්බන්ධයෙන් විස්තරාත්මක හා පුළුල් විශ්ලේශණයක් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. එමෙන්ම, මෙම සම්මුතිය පාර්ලිමේන්තුවට සභාගත කර ඇත්තේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිස සහ ඔවුන්ගේ අදහස් හා නිරීක්ෂණ ලබා ගැනීමට බව වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.

ඉහතින් සඳහන් කළ ක්‍රියාමාර්ග නිසි පරිදි අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම සම්මුතිය අපරානුමත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව මෙම සභාවට කාරුණිකව ප්‍රකාශ  කරනු කැමැත්තෙමි.

තවද, මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මීලඟ කම්කරු අමාත්‍යංශයීය උපදේශක කරක සභා අවස්ථාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එහිදී මේ පිළිබඳ උනන්දුවක් දක්වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා හා මන්ත්‍රීතුමියන්ලාගේ අදහස් විමසීමට අවස්ථාව ලබා දෙන බව මෙම ගරු සභාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.