ILO ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ සම්මුතිය (C188) අපරානුමත කිරීමට අනුමැතිය

ilo-c-188

2007 වසරේදී පවත්වනු ලැබූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 96 වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ සම්මුතිය (C188) සම්මත කර ගනු ලැබ තිබේ.

එමඟින්, ධීවර ප්‍රජාවගේ යහපත් සේවා තත්ත්වයන්, සෞඛ්‍ය පහසුකම්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සහ ආරක්ෂණය පිළිබඳ ප්‍රමිතීන් ස්ථාපිත කරනු ලැබ ඇත. 315,000 ඉක්මවා ඇති ධීවර කාර්මිකයින් සංඛ්‍යාවකගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය, එහි ස්වභාවය සහ සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් හේතුවෙන් ඉතා අවිධිමත් මට්ටමක පවතින අතර, වෘත්තීය සුරක්ෂිතතාව, සෞඛ්‍යය සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් සිටියි.

එබැවින්, එකී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම පිණිස ධීවර කර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන් හඳුන්වා දීමට හැකි වන පරිදි ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ සම්මුතිය (C188) අපරානුමත කිරීමටත්, එකී ප්‍රමිතීන් ස්ථාපිත කිරීම පිණිස වන රෙගුලාසි අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.