රාජ්‍ය ආයතන සේවකයින්ගේ PAYE ටැක්ස් ගැන අලුත් තීරණයක්

රාජ්‍ය ආයතන සේවකයින්ගේ PAYE ටැක්ස් ගැන අලුත් තීරණයක්

ඇතැම් රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන හරහා එහි සේවකයින්ගේ උපයන විට බදු ගෙවීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බවය.

උපයන විට බද්ද පනවා ඇත්තේ කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබා ගන්නා පුද්ගලයන් විසින් රජය වෙත ගෙවිය යුතු බද්දක් ලෙස වන අතර ඇතැම් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ රට වර්තමානයේ පවතින තත්ත්වය තුළ මෙවැනි අක්‍රමිකතාවලට ඉඩ තැබිය නොහැකි බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා,

“රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් යම් සීමාවකට වැඩියෙන් ඉපයීමක් කරනව නම් ඔවුන් උපයන විට බද්දට යටත් වෙනවා. නමුත් පසුගිය වකවානුවේ දී විශේෂයෙන් අර්ධ රාජ්‍ය, සංස්ථාවල යම් යම් සේවා ගිවිසුම් ඇති කරගෙන තිබුණ තත්ත්වයන් මත උපයන විට බද්ද අදාළ ආයතනය විසින්ම ගෙවන අවස්ථාවන් අපට අත්විඳින්න ලැබුණ. එවැනි අකාර්යක්ෂමතාවන්ට මේ අවස්ථාව නෙවෙයි. මේ පිළිබඳ ඉතා නිරවුල්ව සොයා බලා ඒ ගෙවීම වළක්වාලමින් පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වෙත නිකුත් කරනවා”