වතු කම්කරුවන්ගේ තේ දළු අඩුවෙන් කිරා මාට්ටු - නිලධාරින් උසාවියට (Photo)

වතු කම්කරුවන්ගේ තේ දළු අඩුවෙන් කිරා මාට්ටු - නිලධාරින් උසාවියට (Photo)

හැටන් බොගවන්තලාව වැවිලි සමාගමේ බොගවන්තලාව ඉහළ කොටසේ තේ අමු තේ දළු කිරීම සඳහා භාවිතා කරනු ලබන්නේ ඩිජිටල් තාරාදියකින් වන අතර, එම තාරාදිය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියාමන හා සේවා අංශයේ නිලධාරීන් විසින් පසුගියදා කිරුම් තරාදිය සීල් තබා ඇත.

මෙහිදී බොගවන්තලාව වැවිලි සමාගමේ නිලධාරින්  කම්කරුවන් විසින් කඩන ලද අමු තේ දළු කිරමින් සිටි අවස්ථාවේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව මිනුම් රෙගුලාසි හා සේවා අංශයේ ඒකක භාර නිලධාරී ආරියපාල මහතා ඇතුළු නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී පරික්ෂා කර බැලීමේදී මෙම තරාදිය වසර තුනක් පමණ කාලයකු තුළ පරික්ෂා කර ලියාපදිංචි කර නොමැති බවද හෙලි වි ඇත.

කම්කරුවෙකු විසින් කඩන ලද අමු තේ කිලෝග්‍රෑම් 15 කට මෙම තරාදියේ පෙන්නුම් කරන්නේ කිලෝග්‍රෑම් 3ක් අඩුවෙන් වන අතර, කිලෝග්‍රෑම් 10 ක් සඳහා කිලෝග්‍රෑම් 02 ක්ද, කිලෝග්‍රෑම් 05 ක් සඳහා කිලෝග්‍රෑම් 02 ක් ලෙස අඩුවෙන බව මෙම වැටලීමේදී සොයා ගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක රෙගුලාසි හා සේවා අංශයේ නිලධාරීන් පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වතු පාලනාධිකාරියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.