ජීවිත ආරක්ෂාව පතා ඉන්ධන සැපයීමේ දී QR කේත ක්‍රමය පරීක්ෂා කිරීමේ කටයුතුවලින් සංවර්ධන නිලධාරින් ඉවත් වෙයි

ජීවිත ආරක්ෂාව පතා ඉන්ධන සැපයීමේ දී QR කේත ක්‍රමය පරීක්ෂා කිරීමේ කටයුතුවලින් සංවර්ධන නිලධාරින් ඉවත් වෙයි

ඉන්ධන සැපයීමේ දී QR කේත ක්‍රමය පරීක්ෂා කිරීමේ කටයුතුවලදී නිලධාරීන් පහරකෑමට හා ජීවිත අවධානමට ලක්වූයේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව තම රාජකාරී ඉටු කරමින් සිටින අවස්ථාවේදී බවත්, මේ සම්බන්ධව ආණ්ඩුවේ විෂයභාර ඇමතිවරයා හෝ තීන්දු ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් ආයතන ප්‍රධානීන් හෝ ඉහත සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණ පියවරක් ගැනීමක් හෝ රජයේ නිලධාරියා වෙනුවෙන් ඉදිරිපත් නොවීම බරපතල තත්වයක් බවත්, ඒ අනුව ඉන්ධන සැපයීමේ දී QR කේත ක්‍රමය පරීක්ෂා කිරීමේ කටයුතුවලින් 2022.08.15 දින සිට සියළුම සංවර්ධන නිලධාරීන් ඉවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය දන්වා  සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, බලශක්ති අමාත්‍යාංශය ඔබටද පිටපතක් සහිතව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කර තිබූ චක්‍රලේඛය අනුව ඉන්ධන පිරවුම්හල්වල අදාළ රථ වාහන කාණ්ඩ සඳහා හිමි ඉන්ධන ලබාදීමේ QR ක්‍රමවේදය පරීක්ෂා කිරීම හා අධීක්ෂණ කටයුතු සඳහා සංවර්ධන නිලධාරීන් යොදවා තිබුණි.

අදාළ චක්‍රලේඛය අනුව සංවර්ධන නිලධාරීන් ඉන්ධන පිරවුම්හල් වෙත අදාළ කාර්ය සඳහා යෙදවීමේ දී මතුවිය හැකි ගැටළු පිළිබඳවත්, එම ගැටළු නිරාකරණය කරගනිමින් අදාළ කාර්යේ යොදවන ලෙසත් අප සංගමය 2022.08.01 දින ඔබ වෙත ලිඛිතව දැනුවත් කර තිබිය දී ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකිරීම පිළිබඳ අපගේ කණගාටුවත් දැඩි විරෝධතාවයත් සටහන් කරමු.

2022 අගොස්තු 10 දින වැල්ලවාය - මොණරාගල පාරේ IOC ඉන්ධන පිරවුම්හලේ දී සංවිධානාත්මක මැර කණ්ඩායමක් විසින් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකුට හා 2022 අගෝස්තු 12 දින ගම්පහ මීරිගම බාදුරාගොඩ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ දී අදාළ අධීක්ෂණ කටයුතු සිදු කරමින් සිටි මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියකට ආණ්ඩුවට සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලන මැරයෙකු විසින් පහරදෙන ලදි.

එම නිලධාරීන් පහරකෑමට හා ජීවිත අවධානමට ලක්වූයේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් පැවරූ රාජකාරී ඉටු කරමින් සිටින අවස්ථාවේ දීය.

එම තීරණ ගනු ලැබූ ආණ්ඩුවේ විෂයභාර ඇමතිවරයා හෝ තීන්දු ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් ආයතන ප්‍රධානීන් හෝ ඉහත සිදුවීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණ පියවරක් ගැනීමක් හෝ රජයේ නිලධාරියා වෙනුවෙන් ඉදිරිපත් නොවීම බරපතල තත්වයක් බව අප සංගමය අවධාරණය කරමු.

සංවර්ධන නිලධාරීන්ට වෘත්තීමය වශයෙන් ඉන්ධන පිරවුම්හල්වල වෙළඳ හා පාරිභෝගික කටයුතු වෙනුවෙන් මැදිහත්වීමේ කිසිදු වෘත්තීමය අදාළකමක් නොවුව ද ජනතාව පත්ව සිටි අපහසුතාවය මගහැරවීමට සහයෝගයක් ලබාදීමේ පදනමින් මැදිහත් වුවද මුහුණ දීමට සිදුව ඇති ගැටළු පිළිබඳ සේවාවක් ලෙස අපි විශේෂ අවධානයක් යොමු කරන ලදි.

ඒ අනුව 2022 අගෝස්තු 15 සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීමේ අධීක්ෂණ ක්‍රියාවලියෙන් සංවර්ධන නිලධාරීන් 2022.08.15 දින සිට රට පුරාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්වන බව මෙයින් දන්වා සිටිමු.