රුසියානු  TASS ප්‍රවෘත්ති සේවයේ 120 වර්ෂ සමරුව සහ ලෝක ජනමාධ්‍යවේදී සහයෝගිතා දිනය සැමරේ

රුසියානු  TASS ප්‍රවෘත්ති සේවයේ 120 වර්ෂ සමරුව සහ ලෝක ජනමාධ්‍යවේදී සහයෝගිතා දිනය සැමරේ

රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති නියෝජිතායතනය වන TASS ප්‍රවෘත්ති සේවයට වසර 120 සම්පූර්ණවීම සහ ලෝක ජනමාධ්‍යවේදී සහයෝගිතා දිනය සමරමින් පැවති විශේෂ මාධ්‍ය හමුව (03) දින කොළඹ රුසියානු සංස්කෘතික මන්දිරයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගරියාන්  Levan Dzhagaryan මහතා සහ කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මාරියා පපොවා (Mariya Popova) මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

1904 ආරම්භ කළ  TASS ප්‍රවෘත්ති සේවය ලෝකයේ ප්‍රවෘත්ති බල තුලනයේ දී දැවැන්ත මෙහෙවරක් ඉටුකළ හා ඉටුකරමින් සිටින මාධ්‍ය යෝධයෙකි.බටහිර රටවල අධිපතිවාදී මාධ්‍යයට එරෙහිව ඔවුන් සඟවන සැබෑ ප්‍රවෘත්ති ලෝක ජනතාවට හෙළිදරව් කිරීමේ දැවැන්ත යුග මෙහෙවරක යෙදෙන  ප්‍රවෘත්ති සේවයක් ලෙස TASS ප්‍රවෘත්ති සේවය ලෝකයේ පිළිගැනීමට ලක්වී ඇත.

එහි දී අදහස් දැක්වූ රුසියානු මන්දිරයේ  අධ්‍යක්ෂිකා   මාරියා පපෝවා මහත්මිය කියා සිටියේ,"1904 දී පිහිටුවන ලද රුසියාවේ පැරණිතම ජාතික ප්‍රවෘත්ති ආයතනයේ ඉතිහාසය 20 වන සහ 21 වන සියවස්වල අපේ රටේ සහ ලෝකයේ ප්‍රධාන සිදුවීම් සමඟ සම්බන්ධ වී ඇත. දක්ෂ මාධ්‍යවේදීන්, පෙරටුගාමී වාර්තාකරුවන්, විචාරකයින්, ඡායාරූප ශිල්පීන් සහ කලාකරුවන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුළින් ලොව ඉහළම ජනප්‍රියතාවය දිනාගත් TASS ප්‍රවෘත්ති වාර්තා ප්‍රවෘත්ති කලාවට අද්විතීය සුවිශේෂි ශෛලියක් බිහි කීරීමට සමත් වූ බවය.එසේම TASS සෑම විටම නිර්මාණාත්මක සහ නිර්භීතව   විවෘතව ක්‍රියාකර ඇතැයි ද කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මාරියා පොපෝවා මහත්මිය  මෙහි දී ප්‍රකාශ කළාය.

එසේම අද අපි මාධ්‍යවේදීන්ගේ සහයෝගිතා ජාත්‍යන්තර දිනය සමරනවා.  සහයෝගීතාවය ගැන කතා කරමින්, වසර ගණනාවක් පුරා රුසියානු සමූහාණ්ඩුවට මිත්‍රශීලීභාවය සහ සහයෝගය දැක් වූ සියලුම ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

එහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ( Levan Dzhagaryan) ලෙවාන් ජගරියාන්  මහතා මහතා මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ,යුක්‍රේනේ වර්තමානයේ සිටින අගමැතිවරයාගේ ජනවරමට අදාල කාලය අහෝසි වී ඇති බැවින් ඔහු තවදුරටත් ඒ රටේ අගමැතිවරයා ලෙස පිළිගැනීමට රුසියාව සූදානම් නැති බවය. යුක්‍රේනයේ  යුද්ධය අවසන් කිරීමට යුක්රේනයේ එම හිටපු අගමැතිවරයාට කිසිදු උවමනාවක් නැති බවත්,යුක්‍රේනය පිළිබඳ සියලු තීරණ ගනු ලබන්නේ වොෂින්ටනයේ බවත් ඔහු පෙන්වා දුන්නේය. ඇමෙරිකානු ජනතාව සමග රුසියාවට කිසිදු අමනාපයක් හෝ ගැටුමක් නැති බව ද ඔහු  අවධාරණය කළේය.එසේම මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තවදුරටත් ඔහු කියා සිටියේ,ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන මේ වන විට සාර්ථකව සාකච්ඡා මට්ටමින් පැවැත්වෙන බවය.එසේම රුසියාවේ සහ යුක්රේනයේ යහපත වෙනුවෙන් ඉන්දියාව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපතිවරයා මෙහි දී ඉන්දියාවට සිය ප්‍රශංසාව පළ කළේය. යුක්රේනයට නීති විරෝධීව ගොස් සිටින ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් පිළිබඳ මෙරට ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්,ඒ පිළිබඳ මෙරට ආරක්ෂක අමාත්‍යාංශය  ඉතාමත්ම සහයෝගීතාවයෙන් රුසියානු රජය සමඟ කටයුතු කරන බව මාධ්‍යවේදයෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තානාපතිවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු මන්දිරයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා ද සහභාගි විය.

‍| උපුල් ජනක ජයසිංහ