ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍යවේදීන්ට කළ තර්ජන හෙලා දකිමු

ජනාධිපති මාධ්‍ය අංශයෙන් මාධ්‍යවේදීන්ට කළ තර්ජන හෙලා දකිමු

ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම්, පහරදීම් සහ හිංසනයට පත්කිරීම් සිදු කළ එමෙන්ම ඒවාට නිසියාකාර පරීක්ෂණ හෝ යුක්තියක් ඉටු නොකළ අඳුරු අතීතයකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය උරුමකම් කියනු ලබයි. එවැනි පසුබිමක් තුළ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය මෙන්ම ජීවිත ද තවදුරටත් අනාරක්ෂිතව පවතින බව මෑතකදී සිදු වූ සිද්ධීන් කිහිපයක් මගින් පෙන්නුම් කෙරේ.

එහි නවතම සිදුවීම කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වේ. පසුගියදා කැකිරාව ප්‍රදේශයේ පැවති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ඉලත්ත කර ගනිමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ තර්ජනය කොට බිය වැද්දීම මගින් රට තුළ මාධ්‍ය නිදහසට එල්ල වී ඇති බරපතල තර්ජනය යළිත් තහවුරු කරනු ලබයි. එම අවස්ථාවේදී රැස්වීම් භූමිය තුළදී එකම පාර්ශවයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු විසින් තම කැමරා තුළ සිදු කළ පටිගත කිරීමක් මුල් කරගෙන මෙම සිද්ධිය සිදුව ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව හෝ ඔහුගේ උපදෙස් පරිදි ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රදේශීය මාධ්‍යදීන්ගේ කැමරා බලහත්කාරයෙන් පැහැර ගනිමින් පටිගත කළ අදාල ගැටුමේ දර්ශන මකා දමා ඇත්තේ මෙම මාධ්‍යවේදීන් වෙත තර්ජනයද කරමිනි. මෙවැනි තත්වයන් දැඩි පිළිකුලෙන් අප හෙලා දකින අතර මෙය භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ තර්ජනයක් ලෙස වෘත්තීය ජනමාධ්‍යවේදීන් වශයෙන් අප සලකන්නෙමු.

පාතාලය, පැරා මිලිටරි කණ්ඩායම් මෙන්ම ආරක්ෂක සේවාවන් මගින්ද ඇතැම් අවස්ථාවල බිය වැද්දීම්, තර්ජන හා ඝාතනයන්ද සිදුවන සමාජයක ජනමාධ්‍යවේදීන් ඇතුළු සමස්ත පුරවැසියන් අනාරක්ෂිත භාවයට ගොදුරු වී තිබීම කණගාටුදායක තත්වයකි. විශේෂයෙන් ජනාධිපතිවරණයක් අභියස ඇති ලාංකේය සමාජය ගොදුරු වෙමින් පවතින මෙම අනාරක්ෂිත තත්වයෙන් මුදවා සමස්ත සමාජයේ ආරක්ෂාව තහවුරු කිරීම වගකිවයුතු රජයක යුතුකම වේ. ජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව තොරතුරු සන්නිවේදනය කරනු ලබන මාධ්‍යවේදීන් ඉලක්ක කොට ගනිමින් සිදුවන මෙවැනි අනීතික තජන පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.