රාජ්‍ය සම්පත් අවභාවිතය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා කරයි - TISL ආයතනය

රාජ්‍ය සම්පත් අවභාවිතය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා කරයි - TISL ආයතනය

2024 ජනාධිපතිවරණය අතර වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) අප්‍රසාදය පළ කරයි. සැප්තැම්බර් 4 වැනි බදාදා වන විට අප වෙත පැමිණිලි 580ක් ලැබී ඇති අතර, මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් නතර කිරීමට සහ මැතිවරණ ක්‍රියාවලියේ සුපිළිපන්නභාවය තහවුරු කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස TISL ආයතනය ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් ඇතුළු රජයේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් අවස්ථා TISL ආයතනය විසින් හඳුනාගෙන ඇත. වැඩි වශයෙන් වාර්තා වන මෙම පැමිණිලි සම්බන්ධයෙන් සවිස්තර තොරතුරු ලබා ගැනීම සඳහා TISL ආයතනය විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ පනත යටතේ අදාළ බලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලා ඇත.

තවද, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සීමිත දේශපාලන අයිතිවාසිකම් පමණක් හිමි කාණ්ඩවල නිලධාරීන් දේශපාලන පක්ෂ වෙනුවෙන් භෞතිකව සහ සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරීව ප්‍රචාරක කටයුතුවල නිරත වන බවට වාර්තා අප වෙත ලැබී තිබේ. ඒවා මැතිවරණ කොමිෂන් සභාව සහ අදාළ ආයතන ප්‍රධානීන් වෙත සාක්ෂි සහිතව පැමිණිලි කර ඇති අතර, මැතිවරණ රාජකාරි සඳහා එවැනි නිලධාරීන් යෙදවීම පිළිබඳව නැවත සලකා බලන ලෙස අපි කොමිසමෙන් ඉල්ලා සිටිමු.

නාවල TISL ආයතන පරිශ්‍රයේ පසුගිය බදාදා (සැප්තැම්බර් 4) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් විය හැකි අයුරින් නිශ්චිත ඡන්දදායක කණ්ඩායම් ඉලක්ක කොට ගත් රජයේ තීරණ කිහිපයක් ඉස්මතු කළාය.

“ගොවි ණය කපා හැරීමට සහ පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනුයුක්ත කිරීමට මෑතදී ගත් තීරණ ප්‍රශ්නකාරී වේ. රජය මගින් ජනතාව වෙත ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් අප විරුද්ධ නොවන නමුත්, මැතිවරණ කාලසීමාවකදී ඇතැම් අපේක්ෂකයන්ට වාසි වන අයුරින් ලෙස ඒවා ප්‍රකාශයට පත් කිරීම තමන්ට පැවරී ඇති බලය අයුතු ලෙස භාවිත කිරීමක් ලෙස අපි දකින්නෙමු. පුරවැසියන් තම ඡන්දය අනිසි ලෙස හැසිරවීමට හෝ මිල දී ගැනීමට ඉඩ නොතබා විමසිල්ලෙන් පසු විය යුතුය. මිනිස්සු ඔබ දෙස බලා සිටින බවත්, ඔබගේ වත්මන් හැසිරීම තුළින් ඔබ තේරී පත් වුවහොත් කුමන ආකාරයේ නායකයෙකු වනු ඇත්ද යන්න පෙන්නුම් කරන බවත් අපි අපේක්ෂකයින්ට මතක් කිරීමට කැමැත්තෙමු,” ඇය පැවසුවාය.

“පුරවැසියන්ට අභිමානයෙන් ජීවත් වීමට, අයිතිවාසිකම් සහ නිදහස භුක්ති විඳීමට, ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වය සහ අනාගතය සුරක්ෂිත කිරීමට ඇති හැකියාව නිදහස් හා සාධාරණ මැතිවරණයක් මත රඳා පවතියි. ඉදිරි වසර පහ තුළ ගත යුතු වැදගත් තීරණ ගැනීම සඳහා තම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පුරවැසියන්ට ලැබෙන මේ අවස්ථාව මෙයයි. බාධාවකින් තොරව ඒ තීන්දුව ගන්න ජනතාවට ඉඩ දිය යුතුයි,” ඇය අවධාරණය කළාය.

මැතිවරණ කොමිසම මැතිවරණ නීති උල්ලංඝනයන් වැළැක්වීමට ගන්නා සාධනීය පියවර ප්‍රශංසා කළ TISL ආයතනයේ මහජන සම්පත් සුරැකීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක තුෂානි කන්දිල්පාන අවධාරණය කළේ දැනටමත් සිදුවී ඇති සිදුවීම් සම්බන්ධයෙන් වගවීමක් අවශ්‍ය බවයි. යම් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය (PMD) දිගටම අවභාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව පෙන්වා දුන් ඇය මෙම ප්‍රවණතාවය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියාය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත වන සිදුවීම් www.apesalli.lk වෙත හෝ 0763223442 ක්ෂණික ඇමතුම් අංකයට වාර්තා කරන ලෙස TISL ආයතනය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ආරක්ෂා කිරීම සඳහා මහජනතාවගේ විමසිලිමත්භාවය සහ කඩිනම් වාර්තාකරණය වැදගත් වේ.

මෙම තීරණාත්මක මැතිවරණ කාලසීමාව තුළ සියලු පාර්ශ්වකරුවන්ගේ වගවීම තහවුරු කිරීම සඳහා පුරවැසියන්ගේ සහ මාධ්‍යවල සක්‍රිය සහයෝගය ලබා දෙන්නැයි TISL ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු ගෞරිස්වරන් කිරුපයිරාජා ඉල්ලා සිටියේය.