TISL ආයතනය විසින් "ඉන්ටග්‍රිටි අයිකන් 2020"- හොඳම රාජ්‍ය සේවකයා තේරීම අරම්භ කරයි

TISL ආයතනය විසින් "ඉන්ටග්‍රිටි අයිකන් 2020"- හොඳම රාජ්‍ය සේවකයා තේරීම අරම්භ කරයි

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවංක රාජ්‍ය නිලධාරීන් හට කිර්තිය හා ප්‍රණාමය පුද කරනු වස් පවත්වනු ලබන සුපිළිපන් ප්‍රණාම (Integrity Icon 2020) වැඩසටහනේ ජයග්‍රාහකයින් පස් දෙනා අතුරින් වැඩිම ජනතා ප්‍රසාදය දිනා ගන්නා අවංක රාජ්‍ය නිලධාරියා තෝරා පත් ගැනීම සඳහා එස් එම් එස් (SMS) මගින් මනාපය ප්‍රකාශ කිරීමේ අවකාශය (2021.01.12) දින විවෘත කරනු ලැබීය. මෙම ජයග්‍රාහකයින් පස් දෙනාගේ චරිතාපදානයන් සහ ඔවුන්ගේ කාර්ය භාරයයන් විස්තර කෙරෙන වීඩියෝ පට IntegrityIcon.lk වෙබ් අඩවියට පිවිසීමෙන් නැරඹිය හැකිය.

සුපිළිපන් ප්‍රණාම වැඩසටහන මගින් බලාපොරොත්තු වන්නේ පුරවැසියන් විසින් අවංක රාජ්‍ය නිලධාරීන් හඳුනා ගනිමින් ඔවුනට සමාජ පිළිගැනීමක් ඇති කිරීම සහ ආදර්ශමත් රාජ්‍ය සේවයක් බිහි කිරීමයි. නව පරම්පරාවට වඩාත් සුසැදි රාජ්‍ය සේවකයින් පිරිසක් බවට පත්වීමට අවශ්‍ය පෙළඹවීම ලබා දීමද මෙමගින් අපේක්ෂා කරනු ලැබේ.

මෙම වසරේ ජුනි මස සිට අගෝස්තු මස දක්වා වූ නාම යෝජනා බාරදීමේ කාල පරිච්ඡේදය තුළ සුපිළිපන් ප්‍රණාම 2020 වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි සියයකට අධික නාම යෝජනා ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙම නාම යෝජනා පත්‍ර, පස් දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් මඟින් ඉතාමත් අපක්ෂපාතී විනිශ්චයකට ලක් කෙරුණු අතර ඉන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයකින්, අවසන් ජයග්‍රාහකයින් පස් දෙනා තෝරා ගන්නා ලදී.

විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ. හැරල්ඩ් (විනිශ්චය මණ්ඩල සභාපති), ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්. මොහමඩ්, බස්නාහිර පළාතේ හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ ප්‍රධාන විධායක නිළධාරිනී හේමන්ති ගුණසේකර,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී එම්. එස් තේවාගෞරි යන මහත්ම මහත්මීන්ගෙන් මෙම විනිශ්චය මණ්ඩලය සමන්විත විය.

සුපිළිපන් ප්‍රණාම වැඩසටහනේ ඇති විශේෂත්වය වන්නේ නාමයෝජනා කාල පරිච්ඡේදයේ සිට අවසන් ජයග්‍රාහකයින් පස් දෙනා අතුරින් "වැඩිම ජනතා ප්‍රසාදය දිනා ගන්නා අවංක රාජ්‍ය නිලධාරියා" තෝරා පත් ගැනීම දක්වා වන සමස්ත ක්‍රියාවලියම මහජන සහභාගිත්වයෙන් සිදු වීමයි. ඒ අනුව ජනවාරි 12 වන දින දහවල් 12 සිට ජනවාරි 22 වන දින දහවල12 තෙක් පුරවැසි ඔබගේ ප්‍රසාදය දිනාගත් රාජ්‍ය නිලධාරියා හට එස්.එම්.එස් මගින් මනාපය ප්‍රකශ කිරීමේ හැකියාව පවතී. ඔබගේ කෙටි පණිවුඩය "ICON <SPACE> අපේක්ෂකයාගේ අංකය" ටයිප් කර 011 588 26 26 අංකයට යොමු කරන මෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඔබට ඇරයුම් කරයි.

අවසන් වටයට තේරී පත් වූ රාජ්‍ය නිලධාරීන්

1. චමිලා අතපත්තු 

සමුපකාර ක්ෂේත්‍රය යනු අප රටේ පුරවැසියන්ට බෙහෙවින් සමීප රාජ්‍ය සේවාවකි. විශේෂයෙන්ම ආර්ථික අග හිඟකම් ඇති පුරවැසියන්ට තම එදිනෙදා අවශ්‍යතා සපුරාදෙන මෙවැනි ආයතන වල විනිවිදභාවය සහ කාර්යක්ෂමභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් චමිලා අතපත්තු මහත්මිය මෙම ක්ෂේත්‍රය තුල ඇති වන දූෂණ සහ අක්‍රමිකතා අවම කිරීම සඳහා විවිධ තොරතුරු තාක්ෂණ ක්‍රමවේද යොදා ගැනීමට සමත් වූවාය. ඇය, ජනතාවට වඩා ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් ලබා දීමට නායකත්වය දෙමින් මධ්‍යම පළාතේ සමුපකාර සමිති නිසි ලෙස නියාමනය කරමින් විවිධාංගීකරණය වුණු සේවාවක් ජනතාවට ලබා දීම වෙනුවෙන් ප්‍රජාවේ ප්‍රශංසාවට ලක් වූවාය. නිරන්තරයෙන්ම බිම් මට්ටමේ නිලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් විශාල මූල්‍ය වංචාවන් පවා හෙළි කරගැනීමට නායකත්වය දෙමින් එවැනි අවස්ථාවල නැගෙන බාහිර බලපෑම් හමුවේ ඇය නොසැලී සිය රාජකාරිය ඉටු කළාය.

ICON <SPACE> 1 to 011 588 26 26


 2. චමින්ද අත්තනායක

ස්වභාවික වනාන්තර හා ඒ තුළ වෙසෙන සතුන් රටකටසම්පතකි. විශේෂයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා වන සම්පත විනාශ වී යාමේ ගෝලීය තර්ජනයකට මුහුණ පා සිටින යුගයක අප රටේ සංවිධානාත්මකව සිදුවෙමින්පවතින වන ජීවී අපරාධ රැල්ලේ ප්‍රධාන ගොදුරක් බවට පත් වී ඇති යාල වනෝද්‍යානය ආරක්ෂා කර ගැනීමට යාල වනෝද්‍යානයේ වන සත්ත්ව අඩවි සහකාර චමින්ද අත්තනායක මහතා සිය උපරිම දායකත්වය ලබාදෙයි. යාල වනෝද්‍යානය තුළ සිදු වූ ඇත්දළ ජාවාරම නීතියේ රැහැනට හසු කර දීම මෙන්ම වෙනත් විවිධ වැටලීම් වලදී තම ක්‍රියාකාරී දායකත්වය ලබාදෙන ඔහු තමන්ට එල්ල වන බාහිර සහ අභ්‍යන්තර අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් කටයුතු කරයි. රැකියාව සමඟ තමන්ට පැවරුණු වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් වන සම්පතෙහිඇති වටිනාකම පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින්, ප්‍රජාව ඒකරාශී කරගෙන රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, Youtube සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාල හරහා පවා අනාගත පරපුර වෙනුවෙන් පරිසරය හා වන සම්පත රැකගැනීමේ වැදගත්කම පිළිබඳ සංවාදයක් ඇති කරන්නට ඔහු සමත් වී ඇත. විවිධ සමාජ කොටස් සහභාගී කර ගනිමින් සංරක්ෂණයේ සැබෑ අර්ථය රට තුළ ස්ථාපනය කිරීම ඔහුගේ අරමුණයි.

ICON <SPACE> 2 to 011 588 26 26


 3. සුදත් මාසිංහ

රටක නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ලෙස රාජකාරී කිරීම ඉතා වගකීම් සහගත මෙන්ම අහියෝගාත්මක කටයුත්තකි. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා රට තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සිය රාජකාරිය පමණක් නොව එය සිය වගකීම ද කරගත් ආදර්ශමත් රාජ්‍ය නිලධාරියෙකි. රටේ නම ගිය අපාරධකරුවන් වටලමින් කෙරෙන ඇතැම් මෙහෙයුම් වලදී එල්ල වන ජීවිත අවදානම් හමුවේ පවා නිර්භීතව එම අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් රාජකාරී කරන ඔහු දූෂණ අක්‍රමිකතා හෝ වරදකට සම්බන්ධ වන ඕනෑම මට්ටමක නිලධාරියෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද පියවර ගෙන ඇත. සැමට එක ලෙස නීතියක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලධරයන්ගේ මෙන්ම විවිධ බාහිර සහ අභ්‍යන්තර බලපෑම් හමුවේ නොසැලී ශ්‍රීලංකා පොලීසිය පිළිබඳව පුරවැසියා තුළ වඩා යහපත් ආකල්පයක් ඇති කිරීමට ඔහු සමත් වී ඇත. සිය රාජකාරිය අකුරට ඉටු කරමින් ඉන් නොනැවතී පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව ඇතුළුව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් වලට ද ඔහු මූලිකත්වය ගෙන කටයුතු කරයි

 ICON <SPACE> 3 to 011 588 26 26


3. ඉනෝකා හිමාලි රත්නවීර

රාජ්‍ය අංශයේ සේවාවන් අතරින් පුරවැසියන්ට වඩාත් ම සමීප ස්ථානයක් වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. සිය එදිනෙදා අවශ්‍යතාවයන් රැසකට අදාළ සේවාවන් ලබා ගැනීමට පුරවැසියන් විශාල ප්‍රමාණයක් දෛනිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණෙයි. ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලි රත්නවීර මහත්මිය සිය කාර්යාලය සමඟ ගනුදෙනු කරන ජනතාවට ඉතා විශ්වසනීය සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා අල්ලස සහ දූෂණයට ඇති ඉඩකඩ අවම කිරීමට, පවතින තාක්ෂණයේ නවීණත්වය සමඟ යාවත්කාලීන වන සේවා ස්ථානයක් ඇති කිරීමට සමත් වී ඇත. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවුණු ප්‍රදේශයේ රජයේ පාසල් වලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා ඡන්ද හිමි නාමලේඛනයට අයතා ලෙස නම් ඇතුළත් කිරීමේ ගැටළුව හඳුනා ගත් ඇය අදාළ ග්‍රාම නිලධාරී වසම්වලට නවක ග්‍රාම නිලධාරීන් අනියුක්ත කරමින් ඔවුන්ව පුහුණු කරමින් මෙම තත්ත්වය අවම කිරීමට සහ වැලක්වීමට ක්‍රියා කළාය. විවිධ ආපදා තත්ත්ව වලදී රජයෙන් ලැබෙන සහන සාධාරණව ජනතාවට ලබාදීමට කටයුතු කිරීමේදී මෙන්ම තම රාජකාරිය නිවැරදිව ඉටු කිරීම නිසාම විවිධ අවස්ථා වලදී ඇය වෙත එල්ල වුණු දේශපාලන බලධාරීන්ගේ බලපෑම් සහ තර්ජන වලට ඉතා දිරියෙන් මුහුණ දුන් ඇය පුරවැසියන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක් වූවාය.

 ICON <SPACE> 4 to 011 588 26 26


 

5. සාම්භාසිවම් සුදර්ශන්

පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා අවශ්‍ය කරන බොහෝ සේවාවන් රැසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා දෙයි. දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන යාපනය ප්‍රාදේශීය ලේකම් සාම්භාසිවම් සුදර්ශන් මහතා සිය කාර්යාලය තුළින් පුරවැසියන්ට ඉතා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටයුතු කර ඇත. ඉතා කැපවීමෙන් සහ අවංකව සිය වෘත්තිය ඉටු කරන ඔහු තිස්වසරක් අප රටේ පැවති යුධ තත්වය අවසානයේ යාපනය වැනි ප්‍රදේශයක ජනතාවගේ ජන ජීවිතය යලි නගා සිටුවීමේදී පැන නැගුණු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, ජනතාවට ඉතා සමීප සේවාවක් ලබා දීමට සිය කාර්යමණ්ඩලය මෙහෙයවයි. වර්තමානයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවා රජයෙන් ලැබෙන සහන දේශපාලන අතපෙවීමකින් තොරව සාධාරණව ජනතාවට ලබාදෙමින් සිය කාර්යාලීය සේවාවන් වලින් නොනැවතී අවංකව සිය බලතල නිසි ලෙස භාවිතයට ගනිමින් සමාජයේ විවිධ මට්ටම් වලට එක සේ සිය සේවාව ඉටු කරමින් ඔහු ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන ඇත. එමෙන්ම, යාපනය දිස්ත්‍රික්කය තුළ බොහෝ සමාජ සත්කාරයන් සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහාද ඔහු සිය මග පෙන්වීම සහ දායකත්වය සපයා ඇත.

ICON <SPACE> 5 to 011 588 26 26