හියුමන් ඉමියුනොග්ලොබුලින් ඇතුළු මෑත කාලීනව සිදු වූ මතභේදාත්මක වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ සාමාන්‍ය ජනතාවට මුහුණ පෑමට සිදු වූ බරපතල තත්ත්වය අවධාරණය කරමින්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අප්‍රේල් 16 වන දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR/99/2024) ගොනු කරන ලදී.
පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් 66 දෙනා අතර කැබිනට් අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අංශයට අදාල වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ආන්දෝලනාත්මක වෛද්‍ය සැපයුම්වලට සම්බන්ධ සමාගම්, භාණ්ඩාගාර ලේකම්, විගණකාධිපති, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙහි සාමාජිකයින් සහ අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපතිවරයා වේ.
පොදු දේපළ අවභාවිතය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව වගවන ලෙස ඉල්ලා සිටිමින්, මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මෙම පෙත්සම ගොනු කර ඇත.
Isolez Biotech Pharma AG (Pvt) Ltd, Livealth BioPharma (Pvt) Ltd, Yaden International (Pvt) Ltd, Nandani Medical Laboratories (Pvt) Ltd, Divine Laboratories (Pvt) Ltd, Gulfic Biosciences Limited, Novachem Lanka (Pvt) Ltd සහ Slim Pharmaceuticals (Pvt) Ltd යන සමාගම් වෙතින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය සහ සෞඛ්‍ය බලධාරීන් ගත් තීරණය වැරදි, නීත්‍යානුකූල නොවන, ශුන්‍ය සහ අවලංගු, සහ නීතිය ඉදිරියේ බල රහිත බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටී.
වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ අත්‍යාවශ්‍ය ක්‍රියා නොකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් කියා සිටියි. වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී, සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය (Waivers of Registration) පිළිබඳව සමාලෝචනය කිරීමට පෙත්සම්කරුවන් අධිකරණයේ මැදිහත්වීම අපේක්ෂා කරයි. එමෙන්ම, ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම සඳහා පනවා ඇති නීතිරීති සහ රෙගුලාසි වලට වගඋත්තරකරුවන්ට අනුකූල වන්නැයි නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැවතියේ යැයි කියන ලද ‘හදිසි තත්ත්වය’ බොහෝ දුරට දුර්වල කළමනාකරණය නිසා ඇති වූවක් බව පෙනී යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන වල නිලතල දරන පුද්ගලයන්ගේ වැරදි කළමනාකරණය විසින් ඉහත කී හදිසි අවස්ථාව සැලසුම් කළේ යම් යටි අරමුණු ඉටු කර ගැනීමේ වුවමනාවට දැයි සැකයක් ඇතිවේ,” යනුවෙන් පෙත්සමේ සඳහන් වේ.
ඉන්දියානු ණය පහසුකම යටතේ ඖෂධ ආනයනය කිරීමේදී දක්නට ලැබුණු අක්‍රමිකතා සහ නීතිය නොසලකා හැරීම සැලකිල්ලට ගනිමින්, 2023 පෙබරවාරි මාසයේ දී TISL ආයතනය ගොනු කළ,දැනට අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින පෙත්සමට (SCFR/65/2023) අමතරව මෙම පෙත්සම ගොනු කර ඇත.
ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර ඇති සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔවුන් හරහා ලබා ගත් වෛද්‍ය සැපයුම් සඳහා දරන ලද පිරිවැය ගණනය කරන ලෙසත් විගණකාධිපතිවරයාට නියෝග කරන ලෙස TISL ආයතනය මෙවර ඉදිරිපත් කළ පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
මීට අමතරව, ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කර වෛද්‍ය සැපයුම් ප්‍රසම්පාදනය තුළින් මූල්‍ය හෝ වෙනත් ප්‍රතිලාභ ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ආරම්භ කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත. මෙම සිද්ධීන් හේතුවෙන් රජයට හෝ මහජනතාවට දැරීමට සිදු වූ වියදම් මෙන්ම ඒ සම්බන්ධයෙන් වන්දි මුදලක් අදාළ වගඋත්තරකාර පාර්ශවවලින් අයකර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම මගින් තවදුරටත් ඉල්ලා ඇත.
