මැයි දින සැමරුමට එක්සත් ජාතික පක්‍ෂය බාධා කරන බව ජනාධිපතිවරයාට ලියයි

මැයි දින සැමරුමට එක්සත් ජාතික පක්‍ෂය බාධා කරන බව ජනාධිපතිවරයාට ලියයි

ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි දින සැමරුම පැවැත්වීමට අප සංගමය යොදා තිබූ විධිවිධාන වලට බාධා කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කරයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඔබද දන්නා පරිදි කිසිඳු පක්‍ෂයකට අනුබද්ධ වී නැති අප සංගමය එහි ආරම්භයේ පටන්ම ජාත්‍යන්තර කම්කරු දිනය තනිවම හෝ අනෙකුත් වෘත්තීය සමිති සමග සෑම වසරකම පෙළපාලියක් සහ රැළියක් සමග සැමරීමට කටයුතු කළහ. මෑත වසර 10 කට වැඩි කාලයක් අප මැයි දින රැළිය පවත්වන ලද්දේ කොළඹ, මාළිගාවත්තේ පිහිටි පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී වන අතර ඒ සඳහා අප සංගමයට එම ක්‍රීඩාංගණය කොළඹ නගර සභාව විසින් වෙන්කර දී ඇත.

2024 වසර මැයි දින සැමරුම සඳහා ද කොළඹ මහ නගර සභාව විධිමත්ව ඒ සඳහා අප සංගමයෙන් අයවිය යුතු මුදල් ද භාර ගෙන පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය වෙනකර දී තිබූ අතර මැයි දින පෙළපාලි සහ විධිවිධාන සාකච්ඡා කිරීම සඳහා 2024 අප්‍රේල් මස 09 වන දින කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී.ජේ. චන්‍ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී ද එම සාකච්ඡාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්වරියගේ ද අනුමැතිය ඇතිව අප සංගමයට පී. ඩී. සිරාසේන ක්‍රීඩාංගණය මැයි දින රැළිය පැවැත්වීම සඳහා අනුමත කර දෙන ලදී. ඒ අනුව අප සංගමය වෙනත් ස්වාධීන වෘත්තීය සමිති ද සමග මෙවර මැයි දින සැමරුම පැවැත්වීමට කටයුතු යොදමින් සිටින අතරතුර හදිසියේම කොළඹ මහනගර සභාවේ කොමසාරිස්වරිය අප සංගමය වෙත එවා ඇති 2024 අප්‍රේල් මස 17 දින දරණ ලිපිය මගින් දන්වා ඇත්තේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙවර මැයි දින රැළිය පැවැත්වීමට අප සංගමයට වෙන්කර දී තිබූ පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණය වෙන්කර දී ඇති අනුමැතිය අහෝසි කිරීමට කටයුතු කරන බවය.

මේ සම්බන්‍ධයෙන් අප කරන ලද විමසීම්වලදී අපට දැනගන්නට ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂය පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනය ඉදිරිපිට මාලිගාවත්ත මහල් නිවාසවලට ඇතුල්වන පාරේ තම මැයි දින සැමරුමේ වේදිකාව ඉදි කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙළෙස අප සංගමයට ලබාදී තිබූ අවසරය අහෝසි කර ඇති බවය.

ඔබද දන්නා පරිදි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිතිවලට ඇති උරුමයක් වන අතර එය මෙළෙස දේශපාලන පක්‍ෂයක උවමනාව සඳහා අප සංගමයේ මැයි දින සැමරුම පැවැත්වීමට ලබාදී තිබූ විධිමත් අවසරය මෙළෙස අත්තනෝමතික ලෙස අහෝසි කිරීමට කටයුතු කිරීම ගැන අප සංගමයේ අප්‍රසාදය පළ කරන අතර මෙය ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමේ නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට ඇති අයිතිය උදුරාගැනීමක් ලෙස අප සංගමය සළකන්නෙමු.

තවද, කොළඹ මහ නගර සභාව ගෙන ඇති මෙම අත්තනෝමතික පියවරෙන් පසුව අප සංගමයට

සුදුසු වෙනත් ස්ථානයක් ඉල්ලුම්කරන ලෙස කොළඹ මහ නගර සභාව විසින් අප සංගමයෙන් කරන ලද ඉල්ලීම අනුව අප සංගමය සහ වෙනත් වෘත්තීය සමිති ඊට විකල්පයක් ලෙස මීට පෙර ද මෙවැනි ඒකාබද්ධ රැස්වීම් පවත්වා ඇති විහාර මහා දේවී එලිමහන් රංගපීඨය අප සංගමය ඉල්ලා සිටි නමුත් එම ස්ථානයද ලබාදීම ද කොළඹ මහ නගර සභාව කල්මරමින් සිටීමෙන් මෙවර මැයි දිනය සැමරීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

එබැවින් මේ පිළිබඳව ඔබගේ ක්‍ෂණික අවධානය යොමු කර අප සංගමයට මීට පෙර ලබා දුන් අවසරය අනුව පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී අප සංගමයේ මැයි දින රැළිය අනෙකුත් වෘත්තීය සමිති සමග පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස බලධාරීන්ට උපදෙස් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.