ගුරු–විදුහල්පති රථ පෙළපාළි හතර වටෙන් ජනපති කාර්යාලය අසලට (VIDEO)

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති රථ පෙළපාළි මේ වන විට ජනාධිපති කාර්යාලය අසලට පැමිණ තිබේ.

විරෝධතාකරුවන් ජනපති කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගාලු පාරේ රථවාහන තදබදයක් ද මතුව ඇත.

සිය වැටුප් ගැටලුවට වහා ම විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති රථ පෙළපාළි ඇරඹුණේ, කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුව යන නගරවලිනි.

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගවේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ විරෝධතා රථ පෙළපාළිය ද ජනාධිපති කාර්යාලයට ළඟා වී තිබේ.

කඩවත, පන්නිපිටිය සහ මොරටුව නගරවලින් ඇරඹි ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පෙළපාළි ජනාධිපති කාර්යාලය ආසන්නයට පැමිණ තිබේ.

මේ අතර මොරටුවෙන් ආරම්භ කෙරුණු ගුරු – විදුහල්පති උද්ඝෝෂණ රථ පෙළපාලියට එරෙහිව මොරටුව පොලීසිය මගින් මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් වාරණ නියෝගයක් ලබා දෙන ලෙස අද (4) ඉල්ලීමක් කර තිබිණ.

නමුත් එම වාරණ නියෝගය ප්‍රතික්ෂේප කරමින් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ, පොලීසිය වෙත සඳහන් කර ඇත්තේ මුළු රටම විවෘත කර ඇති මේ මොහොතේ කොවිඩ් බලතල ප්‍රකාරයට වාරණ නියෝගය ලබා දිය නොහැකි බවත්, සාමකාමී අයුරෙන් උද්ඝෝෂණය සිදු නොකරන්නේ නම් පමණක් පොලිස් බලතල අනුව ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවයි.

(ද ලීඩර්)