පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට අපහාස කිරීමට අදාලව කතානායකට දොස් (VIDEO)

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සදහා ලෝකය පුරාම වැඩ සටහන් දියත් වන මොහොතක කාන්තාවන්ට අගෞරව වන ආකාරයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සිවිල් සංවිධානයක් පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් 'ජන බල පවුර' සංවිධානය අවධාරණය කළේ, කාන්තාවන් හිංසනයට පත් වන අයුරින් ප්‍රකාශ සිදු කළ තිස්ස කුට්ටිආරච්චි  මන්ත්‍රීවරයාට එරෙහිව ප්‍රමාණවත් අන්දමේ විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. ඒ, සම්බන්ධයෙන්ද 'ජන බල පවුර' සංවිධානයේ ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ එහිදි කතානායකට චෝදනා කළේය.

 "ඒකේ වගන්ති නැවත නැවත අපි කියන්න සුදානම් නෑ. මොකද නැවත නැවත කාන්තාවන් හිංසනයට පත් කිරීම තමයි ඒවා ගැන සදහන් කරනවා නම් අපිට  කරන්න වෙන්නේ. "

 පාර්ලිමේන්තුව තුළ හා පළාත් සභාව තුළ කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට පසුගිය සමයේ ඉදිරිපත් වු යෝජනා මේ වන විට හුදු වචන බවට පමණක් පත්ව ඇති බවත් 'ජන බල පවුර' සංවිධානයේ ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

 පාලම් නැතිකමින් පාරුවේ ගමන් කිරීමට ගොස්  මල් කැකුළු වන්  කුඩා දරුවන්ගේ ජීවිත අකාලයේ අහිමි වද්දි, ඇවිදින මන්තීරු නිර්මාණය කිරීමට   ප්‍රමුඛතාවය ලබා දීම සම්බන්ධයෙන්ද ඔහු ආණ්ඩුවට චෝදනා කළේය.

 දින 16ක වැඩ සටහනක්

 සෑම වසරකම නොවැම්බර් 25 දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ සිට දෙසැම්බර් 10 වැනි  දිනට යෙදෙන මානව හිමිකම් දිනය දක්වා දින 16 ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දින 16 යේ ක්‍රියාකාරිත්වය ලෙස ගෝලීය වශයෙන්  ප්‍රකාශයට පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ UNiTE නම් ව්‍යාපාරය මෙම වසරේ ගෝලීය තේමාව ඇය වෙනුවෙන් ලෝකය තැඹිලි පැහැ ගන්වමු: කාන්තාවන්ට එරෙහි හිංසනය දැන්ම අවසන් කරමු!” මැයින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නොවැම්බර් 25 දින පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වීමේ අරමුණින් තැඹිලි වර්ණයෙන් යුත් ඇදුම් ඇඳ තිබුනි.

ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවයට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් නගන පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ උප සභාපතිනි රෝහිණී කුමාරි කවිරත්න  ප්‍රකාශ කරන්නේ, කාන්තාවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වුවත්, ගෘහණියක් වුවත් සමාජයේ සෑම දෙනාගේම ගෞරවයට පාත්‍ර විය යුතුම බවයි.

 "පාර්ලිමේන්තු කාන්තා සංසඳය සහ තේරීම් කාරක සභාව ලෙස අප උත්සාහ කරන්නේ එයයි. විශේෂයෙන් විවිධ ස්වරූපවලින් කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් සහ කාන්තා අයිතිවාසිකම් කඩ කරන පුද්ගලයන්ගේ නිර්ලජ්ජිත ක්‍රියා සහ කතාවලට එරෙහිව නැගී සිටීමට මගේ සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් සහ මුළු සමාජයේම සහයෝගය ඉල්ලා සිටිමි."

 2030 තිරසාර සංවර්දන ඉලක්ක මාලාවට සමගාමීව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයෙන් හා කාන්තාවන්ට හානිකර වන්නා වූ අනෙකුත් ක්‍රියාකාරකම් වලින් තොර ලෝකයක් නිර්මාණය කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ විවිධ ජන කොට්ඨාශයන් වෙත ආමන්ත්‍රණය කිරීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කටයුතු කරනු ඇති බවට එම නිවේදනය පවසයි.

(the leader)