ටෙලිකොම් විකිණීමෙන් ‘ජාතික ආරක්ෂාවට තර්ජනයක් (Video)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය යෝජනා අනුව ටෙලිකොම් සමාගම සතු රජයේ කොටස් දෙස් -විදෙස් ආයෝජකයන්ට විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට වෘත්තීය සමිති අවධාරණය කර තිබේ.

සමාගමේ විවිධ සේවක මට්ටම්වලට අයත් සමිති 19 කින් යුත් ටෙලිකොම් විකිණීමට එරෙහි වෘත්තීය සමිති එකතුව පෙන්වා දෙන්නේ ලාභ උපයන ටෙලිකොම් විකිණීම මගින් ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට හා මහජනයාගේ වැදගත් තොරතුරු විදේශයන් නතු වීම වැළක්විය නොහැකි බවයි.

මුදල් ඇමතිවරයා ලෙස 2023 වසර වෙනුවෙන් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාඩු ලබන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය ඇතුළු රජයට අයත් ආයතන ප්‍රතිව්‍යුහගත කරන බවට කියා සිටියේ ටෙලිකොම් මුළුමනින්ම පෞද්ගලිකරණය නොකරන ලෙස වෘත්තීය සමිති විසින් දෙවතාවක්ම ලිඛිතව කළ ඉල්ලීම බැහැර කරමින්ය.

ටෙලිකොම් සමාගම විකිණීමට එරෙහි වෘත්තීය සමිති (21) දින කොළඹ-කොටුව, ශ්‍රීමත් චිත්තම්පලම්  ඒ. ගාඩ්නර් මාවතේ ගුරු මැදුරට මාධ්‍යවේදීන් කැඳවා කියා සිටියේ මෙම වසරේ පළමු කාර්තු වල රුපියල් බිලියන 9 ක ශුද්ධ ලාභයක් ලැබූ ටෙලිකොම් සමාගම ගෙවුණු අවුරුද්දේ රුපියල් බිලියන 3.6 ක ලාභාංශ කොටස්කරුවන්ට ලබා දුන් ලාභ ලබන ආයතනයක් බවයි.

ජනාධිපතිගේ සමිපතම උපදේශකයෙකු වන සාගල රත්නායක  ඉන්දියාවේ 'අදානි' සමාගම සමගත්, එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන  'ලයිකා' සමාගම සමගත් ටෙලිකොම් මිලදී ගැනීම ගැන සාකච්ජා කොට ඇතැයි ද සමිති නායකයෝ හෙළිකරති.

''සෘජුවම රජය සතු කොටස් ප්‍රමාණය සියයට 49.5 ක්. තවත් සියයට 2 යි දශම ගානක් රජයට අයත් සමාගම් සතු වෙනවා.  මේ සියයට 51 ක් විතර වෙන රජය සතු කොටස තමයි විකුණන්න හදන්නේ,'' යැයි ටෙලිකොම් සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජේෂ්ඨ නියෝජ්‍ය ලේකම් ජගත් ගුරුසිංහ පවසයි.

''සමාගමේ සිදුවෙන රුපියල් මිලියන ගණන්  වංචා දුෂණ අක්‍රමිකතා ගැන අපි  'කෝප්' කමිටුවට කිව්වා. වංචා දුෂණ විමර්ශනයට කිව්වා ඒත් ඒවා ගැන සැලකිල්ලක් නැහැ. දැනට ටෙලිකොම් සමාගම රුපියල් මිලියන 39 ක ණයක් තියෙනවා. මේ ණය ප්‍රමාණයත් පියවලා තමයි විකුණන්න හදන්නේ.''

දැනට ටෙලිකොම් සමාගමේ සේවය කරන ස්ථිර  සේවක සංඛ්‍යාව 6000 ඉක්මවයි. වෘත්තීය සමිති විසින් දිගින් දිගටම ගෙන ගිය අරගලයේ ජයග්‍රහණයක් ලෙස 2020 වසරේදී එහි සේවය කළ 'මෑන් පවර්' සේවකයන් ස්ථිර කෙරිණි.

 පෞද්ගලිකරණය තුල උපරිම ලාභය අරමුණු කෙරෙන බැවින් විශාල සේවක පිරිසක් ටෙලිකොම් සමාගමේ සේවයෙන් දොට්ට වැටීමේ අවදානමක් ඇති බව පෙන්වා දෙන වෘත්තීය සමිති නායකයෝ පවසන්නේ ටෙලිකොම් විකිණීමේ සැලසුම් අත්හැර දමන තෙක් සටන් කරන බවයි.

''ටෙලිකොම් සේවකයෝ  ඔක්කොම කොළඹට ගෙන්වලා, විකිණීමට නියමිත අනෙකුත් රජයේ ආයතනවල වෘත්තීය සමිති එක්ක එකතු වෙලා අපි දැවැන්ත විරෝධයක් දක්වනවා,'' යැයි  ටෙලිකොම් වෘත්තීය සමිති නායක ජගත් ගුරුසිංහ පවසයි.

(the leader)