රටට ඩොලර් ගේන අනාථ වී සිටින වතු කම්කරුවන් ගැන මැතිසබේ කතා (Video)

සියවස් දෙකක කාලයක් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළද මේ තාක් විසදුම් නොලද වතු කම්කරු ජනතාවගේ නිවාස හා ඉඩම් අයිතිය ඇතුළු ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂයේ සහ ආණ්ඩුවේ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී සිය හඬ අවදි කර තිබේ.

කඳුකර ජනතාවගේ දුක කීමට විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත්වී ඇති මන්ත්‍රීවරුන් වැඩි දෙනකු ආණ්ඩු කිහිපයක් යටතේම වතුකර සේවා භාර ඇමැති ධුර දැරුවන් ය.

තවමත් සම්පූර්ණ වී නැති රුපියල් දහසේ දෛනික වැටුප වෙනුවෙන් අරගලයක් දියත් කිරීමට ඇති සුදානම ගැනත් එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අනතුරු අඟවා ඇත.

මේ වන විට වතුකරයේ ජනතාව වාසය කරන අඩු පහසුකම් සහිත නිවාස වර්ගීකරණය කරමින් සංඛ්‍යාලේඛනද ඉදිරිපත් කළ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වේලුසාමි රාධක්‍රිෂ්ණන් නොවැම්බර් 30 වැනිදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ වතුකරයේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය වී තිබෙන නිවාස ප්‍රමාණය එක්ෂලක්ෂ පනස් දාහකට ආසන්න බවයි.

"මේ විදිහට අපි බලනකොට එක්ලක්ෂ හතලිස් හයදාස් හත්සිය දාහතරක් අපිට ගෙවල් අවශ්‍ය වෙනවා.මේ රටේ" පැවසු මන්ත්‍රීවරයා වැඩි දුරටත් අවධාරණය කළේ තාවකාලික කුඩාරම් හදාගෙන ජීවත් වන වතු කම්කරුවන් ප්‍රමාණය දහදාස් නමසිය අනු එක් දෙනෙකු බවයි.

වතු කම්කරුවන්ගේ නිවාස අවශ්‍යතාවය රජයට තනියම සිදු කළ නොහැකි ක්‍රියාවක් බව පවසන 2005  සිට ආණ්ඩු තුනකම අමාත්‍ය ධුර දැරූ වර්තමාන විපක්ෂ මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් විදේශ ආධාර එකතු කළ යුතු බවට යෝජනා කරයි.

ඉන්දීය නිවාස කෝ !

පසුගිය සමයේ ඉන්දීය රජයෙන් නිවාස දස දහසක් ලබා දුන්නද ඒවා ඉදිකිරීම වෙනුවෙන් වතු හාම්පුතුන් මේ තාක් ඉඩම් වෙන් නොකිරීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කළේය.

" දැන් ලගදී ඉන්දියවේ රජය ගෙවල් දහ දාහක් දුන්නා. ඒ දහ දාහ හදන්න තවම කම්පැනිවල ඉඩම් දීලා නෑ. මේක තමයි ප්‍රශ්නය."

ශ්‍රී ලංකාවේ තමන්ටම කියා නිවසක් අහිමි ජනතාව අතර ඉදිරියෙන්ම සිටින්නේ වතු කරයේ කම්කරුවන්ය.

වී. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාට අනුව වතු කම්කරු ජනතාව වෙනුවෙන් අවශ්‍ය වී තිබෙන වැසිකිලි ප්‍රමාණය 36158 කි. ආර්ථික අහේනිය හමුවේ වතු ජනතාව මුහුණ දී සිටින  ආහාර අහේනිය නිසා වැසිකිලි අවශ්‍යතාව පහව ගොස් ඇති බවට මන්ත්‍රීවරයා සමච්චලයක්ද කළේය. "කෑවොත්නේ ටොයිලට් යන්න පුළුවන්. කන්න හම්බවෙන්නේ නෑනේ. එතකොට ටොයිලට් යන්න විදිහකුත් නැ. ඒ හින්දා එගොල්ලෝ ටොයිලට් හදන එකත් නවත්තලා තියෙන්නේ දැන්."

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ ම නියෝජ්‍ය නායකයකු වන හිටපු වතු යටිතල පහසුකම් ඇමැති පලනි දිගම්බරම් පාර්ලිමේන්තුවේදී සදහන් කළේ, තේ වතු වල වැඩ කරන කම්කරුවන් කුඩා තේ වතු හිමියන් බවට පත් කිරීම හරහා මේ වන විට අඩු වෙමින් පවතින තේ අස්වැන්න වැඩි කර ගත හැකි බවයි. ඒ හරහා වතු කම්කරුවන්ගේ ජීවන තත්වය ඉහළට ගත හැකි බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.

කම්කරුවන්ට වතු බාරදෙන්න

1992 වසරේදී රජය විසින් තේ වතු සමාගම් 22 කට බදු දෙන විට ලක්ෂ 12 ක කම්කරු ජනතාවක් එහි සේවය කළ බව පවසන සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහලේකම් ද වන  වඩිවේල් සුරේෂ් පෙන්වා දෙන්නේ එම කම්කරුවන් ප්‍රමාණය මේ වන විට එක්ලක්ෂ හතලිස් තුන්දහසකට අඩු වී ඇති බවයි.

ශ්‍රමිකයන් නොමැතිකමින් මේ වන විට වගා නොකර අත්හැර දමා ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 9000 කි. වතු පාලකයන්ගේ අසමත්කම නිසා එම තත්වය ඇති වි තිබෙන බව පවසන මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ, වතු පාලකයන් නිසි ආකාරයෙන් තේ වතු පාලනය නොකරන බවයි. එබැවින් එම ඉඩම් ආපසු රජයට පවරා ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

වතු කම්කරුවන් අමතර ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් පරම්පරාගතව වගා කළ කුඩා ඉඩම්ද වතු හිමියන් විසින් නීති විරෝධි ආකාරයෙන් අත්පත්කරගනිමින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසයි. දවසේ පැය නමයක් වෙහෙසවී වැඩ කරන වතු කම්කරුවෙකුගේ වැටුප යාචකයකුගේ ආදායමට වඩා අඩු බවට කනස්සල්ල පලකළ රාජ්‍ය අමාත්‍යවරයා වතු පාලකයන් කම්කරුවන්ට නිසි ආකාරයෙන් වැටුප් නොගෙවීම නිසා මෙවැනි තත්වයක් උද්ගත වී තිබෙන බව අවධාරණය කරයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට පඩි පාලක සභාව නිර්දේශය කළද වතු හාම්පුතුන් විසින් මේ දක්වා එම මුදල නොගෙවන බව පෙන්වා දෙන පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් සදහන් කළේ, ලබන වසරේ ජනවාරියේ සිට එම මුදල ගෙවීමට වතු හිමියන් කටයුතු නොකළහොත් දැවැන්ත වෘත්තිය සමිති අරගලයක් දියත් කිරීමට වතුකරය නියෝජනය කරන සියලු වෘත්තිය සමිති ඒකමතික තීරණයකට එළඹ ඇති බවයි.

(the leader)