නව කොවිඩ් ප්‍රභේදය: XBB.1.5 ගැන ඔබ දැනගත යුතු දේ

නව කොවිඩ් ප්‍රභේදය: XBB.1.5 ගැන ඔබ දැනගත යුතු දේ

කොරෝනාවෛරසයේ නව උප-ප්‍රභේදයක් එක්සත් ජනපදය තුළ වේගයෙන් පැතිරෙමින්, යම් කණස්සල්ලක් ඇතිකරමින් සිටියි.

ඉතින් ඔබ XBB.1.5 ගැන දත යුත්තේ මොනවා ද?

XBB.1.5 යනු කුමක් ද? රෝග ලක්ෂණ මොනවා ද?

එය ගෝලීය වශයෙන් ප්‍රමුඛව පැතිර තිබෙන ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප-ප්‍රභේදයකි. ඔමික්‍රෝන් ද පැමිණියේ ඇල්ෆා, බීටා, ගැමා, සහ ඩෙල්ටාවලට පසුව ය.

2021 වසරේ අගභාගයේ දී මතුවූ ඔමික්‍රෝන්, කොරෝනාවෛරසයේ පෙර සියලුම ප්‍රභේදයන් අභිබවාගොස් ඇති අතර, මුල් වෛරසයට වඩා බෝවනසුළුබවින් සාපේක්ෂව ඉහළ බොහෝ උප-ප්‍රභේද බිහිකර තිබේ.

Coronavirus and vaccines

XBB.1.5හි රෝග ලක්ෂණ පෙර ඔමික්‍රෝන් ප්‍රභේදවලට සමානයැ යි සැලකෙන නමුත්, මෙය තහවුරු කිරීමට තවමත් වේලාසන වැඩි ය. මෙය වැළඳෙන බොහෝදෙනා සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ අත්විඳිති.

XBB.1.5 පෙර ප්‍රභේදවලට වඩා බෝවනසුළු හෝ භයානක ද?

XBB.1.5 පරිණාමයවී තිබෙන්නේ XBB නම් ප්‍රභේදයෙනි. එය ප්‍රථම වරට හඳුනාගැනුනේ 2022 අගෝස්තු මාසයේ ඉන්දියාවේ දී වන නමුත්, සෞඛ්‍ය බලධාරීන් විසින් "බරපතල අවධානයට ලක්කළ යුතු ප්‍රභේදයක්" ලෙස වර්ගීකරණයට ලක්ව නැත.

XBB සතුව, මිනිස් ශරීරයේ ප්‍රතිශක්තීකරණ ආරක්‍ෂක ක්‍රම පැරදවීමට උපකාරීවූ විකෘතියක් තිබූ නමුත්, මෙම ගුණාංගය නිසාවෙන්ම, ඊට මිනිස් සෛල ආසාදනය කිරීමට තිබූ හැකියාව පහත හෙළීය.

XBB.1.5හි F486P ලෙස හැඳින්වෙන විකෘතියක් තිබෙනබවත්, ශරීර ප්‍රතිශක්තිය මඟහරිමින් දිගටම සෛලවලට බන්ධනයවීමේ හැකියාව එමඟින් ප්‍රතිෂ්ඨාපනය කරනබවත් ලන්ඩනයේ ඉම්පීරියල් කොලෙජ්හි මහාචාර්ය වෙන්ඩි බාක්ලේ පැවසුවා ය. එනිසා එය වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වේ.

ශරීරයේ ආත්මාරක්ෂක යාන්ත්‍රන මඟහැරීමට නව උපක්‍රම සෙවීමට වෛරසය පරිණාමය වනබැවින්, මෙවන් පරිණාමික වෙනස්කම් "පඩිපෙළක පඩි" වැනිබව ඇය පවසන්නී ය.

මෙතෙක් දැක ඇති අනෙක් සියලු උප-ප්‍රභේදයන්ට වඩා XBB.1.5 සතුව "වර්ධන වාසියක්" ඇතිබව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්‍යාඥයන් බදාදා (ජන. 4) තහවුරු කළේ ය.

නමුත් එය මින් පෙර ඔමික්‍රෝන් ප්‍රභේදවලට වඩා බරපතල හෝ හානිදායකැ යි කිසිදු සංඥාවක් ලැබී නැතැ යි ඔවුහු පැවසූහ.

එය රෝගීන් මත ඇතිකරන බලපෑම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉගැනීම පිණිස තමා පර්යේෂණාගාර අධ්‍යයනයන්, රෝහල් දත්ත හා ආසාදන අනුපාත සමීපව නිරීක්ෂණය කරනු ඇතැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ය.

XBB.1.5 පැතිරෙන්නේ කොහි ද?

එක්සත් ජනපදයේ කොවිඩ් ආසාදනයන්ගෙන් 40%කට වැඩි ප්‍රමාණයක් XBB.1.5 විසින් ඇතිවූ ඒවායැ යි ඇස්තමේන්තුකර තිබේ. මෙනිසා එය එරට තුළ ප්‍රමුඛ පැතිරුණු උප-ප්‍රභේදය ලෙස සැලකෙයි.

දෙසැම්බර් මස මුල දී, XBB.1.5 හේතුවෙන් ඇතිවී තිබුණේ කොවිඩ් ආසාදනයන්ගෙන් 4%ක් පමණකි; එය අනෙකුත් ඔමික්‍රෝන් ප්‍රභේදයන් ඉක්මණින් අභිබවා ගොස් තිබේ.

මෑත සතිවල දී, එක්සත් ජනපදය පුරා කොවිඩ් රෝහල්ගතකිරීම් ඉහළ යමින් පැවතිනි.

An at-home Covid test| පසුගිය සති කිහිපය තුළ එක්සත් ජනපදයේ කොවිඩ් රෝගීන්, රෝහල්ගතවීම් සහ මරණ යන සියල්ලම ඉහළයමින් පැවතිනි

විද්‍යාඥයන් XBB.1.5 ගැන කණස්සල්ලෙන් ද?

එන්නත් ලබාගත් ජනගහණය ගැන තමා විශේෂයෙන් කණස්සලු නොවන බව මහාචාර්ය බාක්ලේ පැවසුවා ය.

නමුත් කොවිඩ් එන්නත්වලින් අඩු ප්‍රතිලාභ ලබන, ප්‍රතිශක්තිය අඩු තැනැත්තන් ඇතුළු අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ඉන් එල්ලකරන බලපෑම පිළිබඳව ඇය කණස්සල්ලට පත්ව සිටියි.

XBB.1.5 වඩාත් දරුණුබවට කිසිදු සාක්ෂියක් තමා දැක නැතිබව මහාචාර්ය හන්ටර් පැවසුවේ ය. ඉන් අදහස් වන්නේ එය දැනට පවතින ඔමික්‍රෝන් ප්‍රභේදවලට වඩා "ඔබ රෝහල්ගත කරන්නට හෝ මරා දමන්නට" ඉඩක් නොමැතිබව යි.

"හැමෝම චීනයෙන් මතුවෙන්න පුළුවන් ප්‍රභේද ගැන අවධානය යොමු කෙරුවත්, XBB.1.5 මතුවුණේ එක්සත් ජනපදයෙන් වීම උත්ප්‍රාසාත්මක යි," ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම නවතම ප්‍රභේදය ගැන ඉගෙනුමට තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් ඇතැ යි ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් හේමන් පිළිගත්තේ ය.

නමුත් එන්නත්කරණය සහ පෙර ආසාදන බහුල රටවල දී එය විශාල ගැටළුවක් ඇති කිරීමට අසමත් වනු ඇතැ යි ඔහු පැවසීය.

ඔහු කණස්සල්ලක් දැක්වූයේ එන්නත් ලබාගැනීම අඩු, දිගුකාලීන ලොක්‌ඩවුන් නිසා ස්වභාවික ප්‍රතිශක්තිය ද අඩු චීනය වැනි රටවල් සම්බන්ධයෙනි.

"ප්‍රතිශක්තියක් නොමැති ජනගහණයක් තුළ මේ ප්‍රභේදය හැසිරෙන්නෙ කොහොමද කියලා බලන්නට චීනය ආසාදිත පුද්ගලයින් පිළිබඳ ඔවුන්ගේ සායනික තොරතුරු බෙදාගත යුතු යි," මහාචාර්ය හේමන් ප්‍රකාශ කළේ ය.

(bbc/sandeshaya)