ජගත් කම්කරු සංවිධානය හා එහි ස්විට්සර්ලන්ත මහ සමුළුවේ වැදගත්කම

ජගත් කම්කරු සංවිධානය හා එහි ස්විට්සර්ලන්ත මහ සමුළුවේ වැදගත්කම

ජාත්‍යන්තර කම්කරු සංවිධානය හෙවත් ILO යනු කුමක්ද ? 
මෙය හාම්පුතුන්ගේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයක් නොවේ. දහඅට වන සියවසේ දී යුරෝපය තුල ශ්‍රම බලකාය ශීග්‍රයෙන් වර්ධනය වීම හරහා පැනනැගුන සේවක අයිතිවාසිකම් සඳහා වන අරගලය හරහා නිර්මාණය වූ සංවිධානයකි. මෙම කාල වකවානුවේදී වෘත්තීය සමිති හා කම්කරු අයිතිවාසිම් වෙනුවෙන් කම්කරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් අරගලයක නිරතවුණා. වෘත්තීය සමිති පිළිගන්න කියල කම්කරුවෝ රජයන්ටත් හාම්පුතුන්ටත් එරෙහිව දිගටම සටන් කළා.ඒ නිසා කර්මාන්ත ගෙනියන්න බැරි වුණා .ඒ අනුව වෘත්තීය සමිති මග හරින්න බැහැ ඔවුන්ව පිළිගන්න ඕන ඔවුන් සමග ගනුදෙනු කරන්න ඕන කියන යථාර්තයට පාලකයන්ට අකමැත්තෙන් එකඟ වෙන්න වුනා. වෘත්තීය සමිති කොහොමද පිළිගන්නේ, මොන වගේ අයිතිවාසිකම්ද ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණය එහිදී මතු වුණා .ඒ අවස්ථාවේදී සංහිදියාවක් සදහා මෙයට මැදිහත් විය යුතුයි කියලා ආණ්ඩු කල්පනා කළා. එහි ප්‍රතිපලයක් විදියට 1890 ගණන්වලදී ස්විස්ටර්ලන්තයේ බේසල් හිදී යුරෝපයේ වෘත්තීය සමිති , හාම්පුතුන් හා ආණ්ඩු එකතුවෙන සමුළුවක් පැවැත්තුවා .එහිදී තීරණය කළා ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් ඉස්සරහට පවත්වා ගෙන යාම සදහා වැඩකරන පන්ත්තියත් සමග යම් පොදු එකඟතාවයක් ඇති කරගන්න ඕන, ශ්‍රමයට හිමි ප්‍රතිලාබයේ පංගුව කේවල් කරලා ලබාගන්න තියෙන අයිතිය තව දුරටත් මග හරින්න බැහැ කියල.

ඉන් පසුව එහිම දිගුවක් විදියට පළමු ලෝක යුද්ධයත් සමග කල්පවත්නා ලෝක සාමය කොහොමද පවත්වාගන්නේ කියන කරණය මතුවීමත් සමග ඒ සදහා වැඩපලේ සාමය අවශ්‍යයි කියන කරුණ මුල්කරගෙන 1919 දී රටවල් 40 ක පමණ සේවක සේව්‍ය හා ආණ්ඩුවල සහභාගිත්වයෙන් ලෝක කම්කරු සංවිධානය ස්විස්ටර්ලන්තයේදී පිහිටවනු ලැබුවා. මේ සංවිධානය එවකට තිබුන ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ සංවිධානයක් බවට පත් වුණා. ඉන්පසු ජාතීන්ගේ සංවිධානය අහෝසි වූනාට පසුවත් ILO දිගටම කටයුතු කරගෙන ආවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ගොඩනැගීමේදී ILO එක ඊට බාහිරින් සම්බන්ද වුන ප්‍රදානම අනුබද්ධ සංවිධානය වුණා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ බොහෝ අනෙකුත් සංවිධාන ඔවුන් විසින් හදපුවා. ILO එකේ තියෙන විශේෂත්වය තමයි සේවක සේව්‍ය හා ආණ්ඩු යන තුන් ප්‍රාර්ශවයටම සම තත්වයේ හිදගෙන කටයුතු කිරීමට හැකියාව තිබීම. 

ILO සංවිධානය, වැඩකරන පන්තියේ මුලික අවශ්‍යතාවයන් ගෝලීය තලයේ ස්ථාපිත කරලා සාමාජික රාජ්‍යයන් තුල ඒවා නීතිගත කර ගන්න, වැඩකරන පන්තියට සමාජ යුක්තිය ඉෂ්ට කරගන්න සේවකයෝ ගෙන ගිය අරගලයේ අවසාන ප්‍රතිපලයක් හැටියට ලෝක කම්කරුවන්ගේම පරිශ්‍රමයෙන් හදා ගත්ත ලෝක සංවිධානයි. ඒ නිසා මෙ සංවිධානයේ කටයුතු හා න්‍යාය පත්‍රය හසුරවන්න වෘත්තීය සමිති ප්‍රබල දායකත්වයක් ලබා දෙන්න ඕනේ. 

ILO වාර්ෂික සමුළුව යනු කුමක්ද ?
මේ වාර්ෂික සමුළුව සදහා එක් රටකින් ඡන්ද හිමි නියෝජිතයෝ 4 දෙනෙක් සාහභාගී වෙනවා .ඒ ආණ්ඩුවේ නියෝජිතයෝ 2 ක්, වෘත්තීය සමිති නියෝජිතයෙක් හා හාම්පුතුන්ගේ නියෝජිතයෙක් වශයෙන්. මේ නියෝජිතයන්ගෙන් 56 දෙනෙකු ILO පාලක මණ්ඩලය වශයෙන් පත්වෙනවා. එහිදීත් ආණ්ඩුවල නියෝජිතයෝ 28 ක්, වෘත්තීය සමිති නියෝජිතයෝ 14 ක් හා හාම්පුතුන්ගේ නියෝජිතයෝ 14 ක් වශයෙන් තමයි මේ පත්වීම් සිදුවන්නේ . මේ පාලක මණ්ඩලය සිදුකරන්නේ ILO වාර්ෂික සමුළුව විසින් ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ එහි පරිපාලනය හා අයවැය ක්‍රියාත්මක කිරීම.

මේ සේරම පත්කිරීම් කරන්නේ ඒ ඒ රටවල නියෝජිතයන්ගේ ජන්දයෙන්. 

මීට අමතරව විවිධ විෂයන්ට අදාල අනු කමිටුද ILO වාර්ෂික සමුළුවේදී තෝරා ගන්නවා .තවද පාලක මණ්ඩලයේ හා අනු කමිටු සදහා අතිරේක නියෝජිතයින්ද තෝරා පත්කරගනු ලබනවා. 

මේ සෑම තැනකටම වෘත්තීය සමිති නියෝජිතයන්ටද තේරී පත්වන්ට පුළුවන්. මීට කාලයකට පෙර ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයකු ILO පාලක මණ්ඩලය නියෝජනය කරපු අවස්තාවන් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ නියෝජිතයා වශයෙන් සාහභාගී වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ලෝක කම්කරු සම්මේලනයේ සාභාපතිත්වය දරා තිබෙනවා. 

ILO සමුළුවට සාහභාගිවන නියෝජිතයන් නම් කරන්නේ ආණ්ඩුවෙන්ද ?
සාහභාගී වන නියෝජිතයන්ට මුදල් වියදම් කළ යුත්තේ ආණ්ඩුව විසින්. නමුත් ආණ්ඩුවේ නියෝජිතයන් දෙදෙනා හැර අනෙක් නියෝජිතයන් නම්කළ යුත්තේ ඒ ඒ පාර්ශව කණ්ඩායම් විසින්. ඒ අනුව හාම්පුතුන්ගේ සම්මේලනය ඔවුන්ගේ නියෝජිතයා නම් කරනවා. ඒත් ලංකාවේ වෘත්තීය සමිති ඔවුන්ගේ නියෝජිතයාව නම් කරන්නේ නැහැ. එම නම් කිරීමේ බලය ආණ්ඩුවට ලබාදීලා ආණ්ඩුව කැමති පුද්ගලයාව තමුන්ගේ නියෝජිතයා හැටියට පිළිගෙන කටයුතු කරන වැඩවසම් ක්‍රමයක් සතුටින් පිලිගන්නවා. 

ILO සමුළුවට සාහභාගී විය හැක්කේ ඡන්ද හිමි වෘත්තීය සමිති නියෝතිතයන් එක් අයෙකුට වුවත් ලංකාවේ වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනෙකු ඒ සදහා සහභාගී වන අයුරක් අපි දකිනවා. මෙහි තත්වය කුමක්ද? 

ILO සමුළුව සඳහා සහභාගි වන සෑම ඡන්ද හිමි නියෝජිතයෙක්ටම සමුළුවේ සාකච්ඡා වන කරුණු ගැන උපදෙස් ලබාගැනීමට උපදේශකයන් රැගෙන යා හැකියි. ඒ අනුවයි නියෝජිතයාට අමතරව උපදේශකයන් වශයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනෙකු සහභාගී වන්නේ. ආණ්ඩුවේත් වැඩි පිරිසක් සහභාගි වන්නේ උපදේශකයන් වශයෙන්. ඒත් හාම්පුතුන්ගේ සම්මේලනය ඔවුන්ගේ නියෝජිතයාව පමණයි සහභාගී කරන්නේ. වෘත්තීය සමිතිත් සිරිතක් විදිහට මහජන මුදලින් උපදේශකයන් පස්, හය දෙනෙකු හෝ සමහර විට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙම සමුළුවට රැගෙන යනවා. මේ වැඩකරන පන්තියට කරන සේවාව ගැන හොයල බලන්න කම්කරුවන්ටත්, වෘත්තීය සමිති වලටත් යුතුකමක් තිබෙනවා. 

ILO සමුළුව වෘත්තීය සමිතිවලට වැදගත් වන්නේ ඇයි ?
සමුළුවේ නයාය පත්‍රය තුල වැඩ කරන පන්තියට අදාල ගොඩාක් දේවල් සාකච්චා කරනවා. වැඩපලේ අසාධාරණය මෙන්ම සමාජ යුක්තිය පිළිබදවද එහිදී සාකච්ඡා කරනවා. තමන්ගේ රට තුල ILO සම්මුති ක්‍රියාත්මක වෙනවද නැද්ද හා ඒවායේ තත්ත්වය පිලිබදව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවාගේම මෙම කරුණු සම්බන්දයෙන් තමන්ගේ රටේ ආණ්ඩුවේ නියෝජිතයින් අභියෝගයට ලක්කරන්නත් පුළුවන්. 

එත් කණගාටුදායක කරුණ නම් කොතරම් ILO සම්මුති රට තුල ක්‍රියාත්මක නොවුනත් බොහෝ විට අපේ රටේ සමිති නියෝජිතයින් සමුළුව තුලදී ඒවා අභියෝගයට ලක් කරන්නේ නැහැ. මොකද ඊලග සැරේ ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ILO ස්විට්සර්ලන්ත යන්න බැරිවෙයි කියන බයට. 

එහෙමනම් වෘත්තීය සමිති නියෝජිතයන් ILO සමුළුවට යන එකේ තේරුමක් තියෙනවද ?
බොහෝ වෘත්තීය සමිති නියෝජිතයින් ILO සමුළුවට යන්නේ ට්‍රිප් එකක් විදියට. බොහෝ අය සමුළු කාලය තුල සමුළු ශාලාවේ වත් රැදෙන්නේ නැහැ. ආණ්ඩුවෙන් දෙන ගුවන් ටිකට් පත, ඉදුම් හිටුම් කෑම බීම සදහා දෙන මුදල් අරගෙන ජොලියක් දාලා, ගානකුත් ඉතිරි කරගෙන නැවත සතුටින් ගෙදර එනවා. මෙ වගේ වාර්ෂික සවාරියක් හදා ගන්න කවුද අකමැති?

වැඩබිම