ILO ජිනීවා වන්දනා සවාරි වාසනාවන්තයින් තේරීම ඇරඹේ

ILO ජිනීවා වන්දනා සවාරි වාසනාවන්තයින් තේරීම ඇරඹේ

මෙම වර්ෂයේ ජුනි මස ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් කම්කරු සංවිධානයේ 104 වන මහා කම්කරු සම්මේලනය නොහොත් ලෝක කම්කරු පාර්ලිමේන්තුව යන අන්වර්තනාමයෙන් හැඳින්වෙන සමුළුව සඳහා සහභාගි වන සේවක නියොජීත පිරිස තේරීමේ කරුණු විමසා බැලීමේ රැස්වීම ඊයේ අප්‍රේල් 10 වන දින කම්කරු අමාත්‍යංශයේ දී පැවැත්වින.

වෘත්තීය සමිති නියෝජිත පිරිස තේරීම විමසා බැලීමේ මෙම රැස්වීම සඳහා රාජ්‍ය අංශයේ දේශපාලන වෘත්තීය සමිති දෙකක් හා පුද්ගලික අංශය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අනුබද්ධ හා අනුබද්ධ නොවන සමිති කිහිපයකට ඇරයුම් කර තිබු අතර රැස්වීම කම්කරු අමාත්‍යංශයේ ලේඛම් උපාලි විජේවීර මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ලංකා සම සමාජ පක්ෂ වෘත්තීය සමිති නියෝජිතයා ප්‍රකාශ කලේ එකම පුද්ගලයා කම්කරු කණ්ඩායමේ නායකයා නොහොත් චන්දබලය හිමි නියෝජිතයා ලෙස යැවීම සිදු නොකල යුතු බවත් එය වාරානුකුලව මාරු කිරීමකට භාජනය කලයුතු බවත් 2012 වසරේ සිට එකම පුද්ගලයා මෙම තනතුර හෙබවීම නුසුදුසු බවත් ඒ අනුව ඔහු විසින් ජවිපෙ වෘත්තීය සමිතිය නියෝජනය කරන ජානක අධිකාරි මහතාගේ නම යෝජනා කෙරින. කෙසේ නමුත් වෘත්තීය සමිතිවලට පරිනත හා වගකිවයුතු සමාජ කණ්ඩායමක් ලෙස පොදු එකඟතාවයකට එළඹිය නොහැකි නිසා එය රජය විසින් තීරණය කෙරෙනු ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පුද්ගලික අංශ වෘත්තීය සමිති නියෝජිතයකු පැවසුවේ කණ්ඩායමේ නායකයා පමණක් නොව කණ්ඩායමේ සාමාජිකයිනුත් වාරානුකුලාව මාරුකිරිමකට ලක්ක කල යුතු බවයි.

කෙසේ නමුත් තතු දත් ආරංචි මාර්ග පැවසුයේ 2012 වසරේ සිට කණ්ඩායම් නායකත්වය දැරූ පුද්ගලයා දේශපාලන සමිතියක් නියෝජනය කලත් කම්කරු විෂය පිළිබඳව යම් මුලික අවබෝධයක් ඇති සහ මෙවැනි ජාත්‍යන්තර සමුළුවකදී ශ්‍රී ලංකාවේ ගරුත්වය රැකෙන ආකාරයට කරුණු දැක්වීමේ පරිනත බවකින් හෙබි සහ පසුගිය වසර වල ඔහු සමුළුව අමතා සිදු කල දෙසුම් සාපේක්ෂ ලෙස ගත් කල ස්වාධිනවත්, හරයාත්මකවත් ඉදිරිපත් කර ඇති බවත් ය.

ජගත් කම්කරු සංවිධාන මහා සම්මේලනය සඳහා සෑම සාමාජික රටකින්ම 4 දෙනෙකුගේන් සමන්වත නියෝජිත පිරිසක්, සමුළුවේදී ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය සහිතව යැවීම ILO ව්‍යවස්ථාවේ පුර්වඅවශ්‍යතාවයකි. මෙයින් දෙදෙනෙකු රජය නියෝජනය කරන අතර, ඉතිරි දෙදෙනා ලාංකීය සේවකයන් හා සේවායෝජකයන් වෙනුවෙන් ඔවුන්ගේ අභිලාෂයන් පිළිබිඹු වන ලෙස කටයුතු කිරීමටත් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකිරිමටත් වරම් ලබයි.

මෙම ඡන්ද හිමි නියෝජිතයන් වෙනුවෙන් ILO සමුළුවේ න්‍යාය පත්‍රයේ විෂය මාතෘකාවනට අනුරූපව, උපදේශකයන් කණ්ඩායමක් මහජනයාගේ බරපැන පුර්ණ අනුග්‍රහයෙන් රැගෙන යාමට අවසර ඇත.

හාම්පුතුන් සිරිතක් ලෙස උපදේශකයන් රැගෙන නොයන මුත්, සමුළුව තුලදී සිය කාර්යභාරය නිසිපරිදි ඉටු කරති. වෘත්තීය සමිති මේ සඳහා වැඩකරන පන්තියේ අභිලාෂයන් නිසි ලෙස ඉටු කිරීමේ අරමුණින් මහජන මුදලින් හත්, අට දෙනෙකුගෙන් යුත් වෘත්තීය සමිති උපදේශක මන්ඩලයකුත් කැටුව ජිනීවා චාරිකාවේ නියැලීම සුපුරුදු කාර්යයකි.

කාන්තා නියෝජිතයින්ගේ සහභාගිත්වය ILO විසින් දැඩිව අවධාරණය කර ඇතත්, වැඩකරන කාන්තාවන් නියෝජන කීරීම සිරිතක් වශයෙන් සිදු නොවේ. එසේ නමුත් මෙම සමිති විසින් කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කාන්තාවන් සවි බලගැන්වීම ආදී කරණා ගැන ILO හා විදේශ ආධාර උපයෝගී කරගනිමින් වැඩසටහන් නොඅඩුව කර ගෙන යනු ලබයි. සිරිතක් ලෙස මෙම සමිති බොහෝ විට කාන්තාවන් යොදා ගැනෙනුයේ ප්‍රධාර්ශන භාණ්ඩයක් ලෙසිනි. 

මෙම චාරිකාව සඳහා එක වෘත්තීය සමිති උපදේශකයකුට ජිනීවා නුවර වියහියදම් සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් මෙරට බදු ගෙවන මහජනයා විසින් දරනු ලැබේ. චන්ද බලය හිමි කණ්ඩායම් නායකයාට ඊටත් වඩා වැඩි මුදලක් හිමිවේ. ගුවන් ටිකට් පත් ද මහජන මුදලින් නොමිලේ ලබා දෙනු ලැබේ. සවාරිය සති දෙකක පමණ කාලයක් ගතවන හෙයින් සැලකිය යුතු මුදලක් උපයාගනිමට අවස්තාව සැලසේ. මෙම මුදල ලබාදෙනුයේ රටේ ගරුත්වය රැකෙන පරිදි ඉඳුම් හිටුම් හා ආහාර පාන වියදම් වෙනුවෙන් වුවත් බොහෝ අය සුපුරුදු ලෙස කරනුයේ තුට්ටු දෙකේ ගුබ්බෑයම් වල ගුලි වී චමරි දමා සියලු වියදම් අතහැර තවත් රුපියල් ලක්ෂ දෙකක් තුනක් පමණ ඉතුරු කරගෙන මව්බිමට පැමිණීමයි.

බොහෝ විට ශ්‍රී ලංකා වෘත්තීය සමිති මෙම සමුළු අවස්තාව උපයෝගී කර ගන්නේ මහජන මුදලින් ගතකරන විවේකි විනෝද වන්දනා චාරිකාවක් ලෙසය. සමුළුවේ කටයුතු සඳහා දායක වනු පිණිස හසල විෂය හා ඉංග්‍රීසි භාෂා දැනුමක් ඇවැසි වුවත් කම්කරු නියෝජිතයින් රැසකට ඉංග්‍රීසි කෙසේවතත් සිංහල හෝ ද්‍රවිඩ බසින් වුවත් නිසිපරිදි තර්කානුකුලව චේදයක් ලියාගැනීමට නොහැකි තත්වයක පසුවීම කනගාටු දායකය. එමනිසා සමුළු ක්‍රියාකාරයකම් වලට දායක වීමට ඇති ප්‍රයෝගික භාෂා අපහසුතාවයත් කිසිදු ශාස්ත්‍රීය විෂය දැනුමක් නොමැති වීමත් නිසා ලාංකික නියෝජිත පිරිස සිරිතක් ලෙස තමුන් නේවාසිකව රැඳී සිටින ස්ථානයේදී හෝ රමණිය ජිනීවා වැවරවුම අභියස මදුවිත තොලගාමින් මහජන බදු මුදලින් ලබාදෙන මුදලින් විනෝදවීම හෝ වෙනත් අහල පහල යුරෝපා රටවල යහළු මිත්‍රාදීන් බැහැදැකීමට යාම සිදු කරයි.

වැඩකරන පන්තියේ හඬ හා අභිලාශය ජාත්‍යන්තර තලයට ගෙන යනු පිණිස මෙන්ම සේවක අයිතීන් තහවුරු කරනු පිණිස මෙම දෙසති සමුළුව ඉතා වැදගත් ජගත් කාර්යභාරයක් ඉටුකරයි. දෙශිය වැඩකරන පන්තියේ අභාග්‍යයට අවශ්‍ය මුල්‍ය බරපැන මහජනයා විසින් දරුවත් ඔවුනට කිසිදු සෙතක් මෙම ජගත් කම්කරු ක්‍රියාවලිය හරහා ලබාගැනීමට නොහැකි වී ඇත.

සමුළුව සඳහා තෝරා ගැනීමට අදාලව සහ සමුළුවේ සිදුවන දෑ පිළිබඳව රසවත් හා හරබර තොරතුරු රැසක් වැඩබිම හරහා ගෙන ඒමට අපේක්ෂා කරමූ. නවතම තතු දැනගැනීමට ඔබත් වැඩබිම හා රැඳී සිටින්න.

වැඩබිම