කම්කරු නීති ක්‍රියාවට නැංවීමට නව නීති සම්මත කරලා – වෙළඳ කලාප වලටත් වෙනම නීති!

කම්කරු නීති ක්‍රියාවට නැංවීමට නව නීති සම්මත කරලා – වෙළඳ කලාප වලටත් වෙනම නීති!

ජුනි මස මුල් සති දෙකෙහිදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ILO ජගත් කම්කරු සම්මේලනයේ, සම්මුති ක්‍රියාවේ යෙදවීම පිලිබඳ කමිටුවේ සාකච්චා සැසියේදී, සම්මුති අංක 81 දරන කම්කරු සුපරීක්ෂණ (Labour Inspection) සම්මුතිය සාමාජික රට රටවල් වල ආදේශ කරගෙන ඇති ආකාරය පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමුවිණ.

මෙහිදී ශ්‍රී ලංකාව තුල එකී කම්කරු සුපරීක්ෂණ සම්මුතිය ක්‍රියාවේ යොදවා ඇති ආකාරය පිළිබඳව අදහස් දක්වමින් රජය පාර්ශවය වෙනුවෙන් අදහස් දැක්වූ නිල නියෝජිතයන් ලෝක කම්කරු සංවිධානයට පවසා සිටියේ සේවා තත්වයන් වර්ධනය කරනු පිණිස කම්කරු සුපරීක්ෂණ ක්‍රියාවලිය ඉතා අත්‍යාවශ්‍ය සාධකයක් බවයි. 

එලෙසම තවදුරටත් කරුණු දක්වමින් රජයේ පාර්ශවයේ නියෝජිතයින් පවසා සිටියේ, කම්කරු සුපරීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිණිස රජය විසින් කම්කරු නීති සංශෝධනය කොට ඇති බවත්, කම්කරු සුපරීක්ෂණ යාන්ත්‍රනය ප්‍රතිව්‍යුහගත කොට ඇති බවත්, මෙම ක්‍රියාවලියට සම්බන්ධ මානව සම්පත් සවි බලගන්වා ඇති බවත්, අපනයන සැකසුම් කලාප සඳහාම වෙන්ම වූ ව්‍යවස්ථා නීතිගත කොට ඇති බවත්, ජාතික ගොඩනැගිලි සංග්‍රහය (National Building Code) සක්‍රීය ලෙසම ක්‍රියාවට නංවා ඇති බවත් සහ වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව සේවායෝජකයන්ගේ දැනුවත්භාවය වර්ධනය කොට ඇති බවත්ය.

ILO image June 2014

එලෙසම රජය විසින් ඉහත විස්තර කල විෂය කාරනා පිළිබඳව ILO තාක්ෂණ සහය ඇතිව යම් යම් පියවරයන් රැගෙන ඇති බවත් අනාගතයේදී සිය පරිශ්‍රමය පිළිබඳව තවදුරටත් කටයුතු කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කොට ඇත. 

මෙම නවතම තොරතුරු අනාවරණය වන්නේ ILO ජගත් කම්කරු සම්මේලනයේ, සම්මුති ක්‍රියාවේ යෙදවීම පිලිබඳ කමිටුවේ සාකච්චා සැසියේ වාර්තා සම්පින්ඩනයෙහි ය. 

කෙසේ නමුත් ලාංකීය වැඩකරන පන්තිය නියෝජනය කරනු පිණිස මහජන මුදලින් ජිනීවා සමුළුවට සහබාගිවූ නියෝජිතයින් මෙම ILO ජගත් කම්කරු සම්මේලනයේ, සම්මුති ක්‍රියාවේ යෙදවීම පිලිබඳ කමිටුවේදී, සම්මුති අංක 81 දරන කම්කරු සුපරීක්ෂණ (Labour Inspection) සම්මුතිය පිබඳව පැවැත්වූ සාකච්චාවේදී අදහස් දැක්වූ බවට කිසිදු තොරතුරක් ILO නිල වාර්තා වල සඳහන් නොවන බව වාර්තාවේ. 

කම්කරු සුපරීක්ෂණ සම්මුතිය ශ්‍රී ලංකාවේ අදාළ කරගැනීම පිළිබඳව ILO සමුළුව හරහා අනාවරණය වන තොරතුරු සුවිශේෂී වන අතර මේ පිළිබඳව වැඩි දුර විස්තර සේවා නියුක්ති පාර්ශව කරුවන් සමග කරන කරුණු විමසීම් වලින් අනතුරුව පල කිරීමට වැඩබිම අපේක්ෂා කරයි. 

වැඩබිම