ඉස්සර අරලියගහ මන්දිරය ඉස්සරහින් අපේ ලොන්ඩරිවත්තට ගේට්ටුවක් තිබුණා. අපි එතනින් ආවා කියලා කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නෙල්සන් ලේන් එකේ තමයි තිබුණේ කිරිකාරයාගේවත්ත. එතන ලොකූ කිරි පට්ටියක් තිබුණා.නෙල්සන් එකේ ගෙවල් සීයක් විතර තියෙනවා. අපේ නෙල්සන් ලේන් එකෙත් හිටියා මලයාලම් කොච්චි අය. පාපක්කා, මනිඅයියා, රාජා, කලේ, මෝගන් වගේ ගොඩක් අය හිටියා නෙල්සන් ලේන් එකෙත් මලයාලම් අය. ගොඩක් අය කොළඹ නගර සභාවේ වැඩ කළා. තව සක්කිලි අයත් හිටියා. ඒගොල්ලෝ කළේ බාල්දි කක්කුස්සිවල උදේම ගිහිල්ලා අසූචි ඉවත් කරන එක.
ඉස්සර මේ බේරේ හරිම පිරිසිදු වතුර අපි මේකේ නානවා. ඉස්සර මේ බේරේ දූපතේ හිටියේ "හත්පවුල" කියලා එක් කෙනෙක්. හත් පවුල කිව්වට ඒක එක පවුලක්. ඒගොල්ලෝ තමයි පාර අයිනේ පොඩි පෙට්ටි කඩේ කළේ. ප්‍රේමදාස මහත්තයා තමයි මේගොල්ලෝ ඔක්කොම යවලා මේ දූපත ගංගාරාමෙට අරන් දුන්නේ. ඒගොල්ලන්ට දුන්නේ ජයවඩනගම ගෙවල්. එතන මැටි පාක් එක පැත්තෙ තිබුණ ගෙවල් ටික තමයි ගිනි ගත්තේ. එතන ගොඩක් තිබුණේ පොල් අතු ගෙවල්.කවුරු හරි ලිප පත්තු කරපු එකෙන් තමයි ඒ ගින්න ඇති වුණේ. ඒ ගෙවල්වල සමහර අය මේ වත්තේ ඇතුලෙ දැන් ඉන්නේ. මේ පොල් අතු ගෙවල් ඒ කාලේ වැව වටේම එළිෆන්ටහවුස් එක ළඟට යනකන් තිබුණා. දැන් තිබෙන පෙරහර මාවත ඒ කාලේ තිබුන් නැහැ. ගාලු පාරෙන් එන පාර තිබුණේ රොටුන්ඩා ගාර්ඩ්න් එකට විතරයි. නවම් මාවතේ ලොන්ඩරිවත්තට මෙහායින් තිබුණේ හැක්ටර් අයියගේ කුඹුර. ජේ.අරුත් ඒ කුඹුරට බැහැලා වැඩ කරලා තියෙනවා.ඒවා නිකන් ෂෝ විතරයි. ඒවා ඔක්කොම ගෙවල් තිබිච්ච තැන්. බේර වැවේ වටේ හිටිය කට්ටියව තැන් තැන්වලට දැම්මා. කට්ටියක් වොක්ෂෝල් වීදියේ බේරේ වැව අයිනට යැව්වා. තව කට්ටියකට පොල්වත්ත පන්සල හරියෙන් ගෙවල් දුන්නා. තව කට්ටියක් ඇරියා කිරුළපනේ කූඹිකැලේට (කිරුළ ව්‍යාපාරය). මේ කට්ටියව ඔක්කොමලාව අයින් කරලා බේරේ වැව වටේටම පාර හදලා ප්‍රේමදාස මහත්තයා ගංගාරාමෙට මේ පැත්තම දුන්නා.
ඒ කාලේ කොල්ලූපිටිය හිටිය හිත හොඳ චණ්ඩියක් තමයි මුහන්දිරම් ලෙන් එකේ පාල අයියා. ලොන්ඩරිවත්තේ හිටියේ පියසේන අයියා. නෙල්සන් ලේන් එකේ හිටියා රාජ් කුමාර්, කින්ඩිරාජා වගේ අය. හුණුපිටියේ රාමනායකවත්තේ හිටිය හෙට්ටිආරච්චි තමයි ගලබොඩ පොඩි හාමුදුරුවොත් එක්ක ගේම ඉල්ලුවේ. පොඩි හාමුදුරුවෝ එක්ක හැප්පිච්ච එකම මිනිහා තමයි හෙට්ටිආරච්චි. මිනිහා පිස්සා වගේ කාර් පදින කෙනෙක්. පොඩි හාමුදුරුවොයි මිනිහයි ගේම තමයි.
ඉස්සර අපි කොල්ලූපිටිය ලොන්ඩරිවත්තේ දී එක කාමරයකට කුලිය දුන්නේ රු.11.25 යි. මෙහෙට දානකොට කිව්වා කාමරයකට කුලිය පන්දහයි මාසෙට කියලා. අපි මේ ගානට විරුද්ධ වෙලා අපි නගර සභාවට ගිහිල්ලා කතා කරලා මන්සිල් මහත්තයා කතා කරලා මේක රුපියල් (3000) තුන් දහකට බස්සලා දුන්නා. මේවා හැදුවේ UDA එකෙන්. ඒගොල්ලෝ තමයි නගර සභාවට භාර දුන්නේ හදලා. අපිට මේවා බාර දෙනකොට එක කාමරයකට රුපියල් පනස්දාහා (50000) ගානේ ගෙවන්නේ කියලා කිව්වා. එහෙම පනස් දාහ ගානේ ගෙවලා තමයි අපි මේවට ඇතුල් වුණේ. අපේ මේ කාමරවලට ලයිට් බිල් සහ අපේ බක්කිවලට එන වතුරවලට වෙනම වතුර බිල් ගෙවනවා. අපිට වතුර බිලුයි ලයිට් බිලුයි එන්නේ ව්‍යාපාර (Business) කියලා. ඊට අමතර නගර සභාවටට ටැක්ස් ගෙවන්නත් ඕනේ. එන්නෙත් එක්කනෙක්ට කෑලි දෙකක් තියෙනවා. ලොන්ඩරි කාමරේයි කිලුටු කාමරයයි කියලා. අපේ ඉතින් ජීවත් වෙන්නෙත් මේවැම තමයි. ඒ වුණාට මේවට අපිට කිසිම ඔප්පුවක් අදටත් නැහැ. අපි ඔක්කොම පවුල් හතළිහක් ඉන්නවා මේකේ. මේකේ කෝවිලකට කියලා වෙනම කෑල්ලක් UDA එකෙන් අයින් කළා. ඒ වුණාට එතන කෝවිලකට ගැලපෙන්නෙ නැහැ. කෝවිලකට වගේ පූජනීය ස්ථානයකට තැනක් වෙන් කරන කොට ඒකට ගැළපෙන තැනක් වෙන් කරන්න එපෑ. ඒක කක්කුස්සියකටවත් හරියන්නෙ නැහැ. දැන් එතන කෝවිල නැහැ. වෙන කට්ටියක් ඒකේ ඉන්නවා. කොල්ලුපිටිය ලොන්ඩරීවත්තේ අයට වෙච්ච ලොකුම අසාධාරණය තමයි ආමර් වීදියෙයි කොටහේනේ වාසල රෝඩ් එකෙයි ලොන්ඩරිවල අයට ලොන්ඩරි කාමරවලට අමතරව ඒගොල්ලන්ට පදිංචි වෙන්න වෙනම ගෙවල් දුන්නා. නමුත් කොල්ලුපිටියේ ලොන්ඩරිවත්තේ අයට එහෙම ගෙවල් දුන්නේ නැහැ. අපි හිටියේ ඒ ලොන්ඩරි කාමරවලම තමයි.
කොල්ලුපිටියේ ලොන්ඩරිවත්ත
සියවස් තුනකට එහා ඉතිහාසයකට ඉතා සමීප නෑකම් කියන කොල්ලූපිටිය ලොන්ඩරිවත්ත යනු මේ රටේ ලොන්ඩරි ඉතිහාසය පමණක් නොව මෙරට වැඩ වර්ජන ඉතිහාසයේ ද ඩෝසන් කුළුණ වැනි ස්මාරකයකි.
කොල්ලුපිටියේ ලොන්ඩරි වත්තේ හරමානිස් අයියගේ නායකත්වයෙන් කොළඹ නගර සභාවට එරෙහිව රෙදි අපුල්ලන්නන් සිදුකළ වර්ජනයේ කතාව මෙසේය.
18 ශත වර්ෂයේ අග භාගය වනවට කොළඹ නාගරික කම්කරුවෝ කිසියම් ආකාරයක වෘත්තීය සටන්කාමිත්වයක් පෙන්නමින් සිටියහ. 1879 කොළඹ මස්කඩකරුවෝ නගර සභාවේ අය කිරීම් වැඩි කිරීමට එරෙහිව උද්ඝෝෂණයක් සමග වැඩ වර්ජනයක් කළහ. 1893 H.W.Cave සමාගමේ මුද්‍රණ කම්කරුවන් ඇරඹූ වැඩ වර්ජනය මෙරට ප්‍රථම වරට වෘත්තීය සමිතියක් පිහිටුවීමට පදනම් වූ වැඩ වර්ජනයා ලෙස සැලකේ. ඊට පෙර කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය ද කොළඹ නගරයේ කරත්ත කම්කරුවන්ට තිබූ බලය ප්‍රකට කළ දැවැන්ත වර්ජනයකි.
1896 ජූලි මාසයේ කොළඹ රෙදි අපුල්ලන්නන් ඇරඹූ වර්ජනය කොළඹ නගරය සහ කොළඹ ආණ්ඩුකාරයා ඇතුළු මහා ප්‍රභූවරුන්ගේ නිවාස දෙදරුම් කෑ වර්ජනයක් බවට පත් විය. එම සටන ආරම්භ වූයේ දැන උගත් හෝ ප්‍රභූ හෝ කිසිවෙකුගේ මතවාදී හෝ ක්‍රියාකාරී නායකත්වයකින් තොරවය. රෙදි අපුල්ලන් ස්වාධීනව ආරම්භ කළ එම වර්ජනය එම දශකයේ ආසියාවේ ඇති වූ දීර්ඝතම නාගරික වැඩ වර්ජනය ලෙස ලේඛනගත වී ඇත.
මේ වර්ජනය අවසන් කිරීමට ආණ්ඩුකාරයාට වර්ජකයන් හමුවේ රජයේ රෙගුලාසි හකුලා ගැනීමට සිදුවූයේ ආණ්ඩුකාරයාට ද අඳින්න යට ඇඳුමක් පවා නැති වූ තත්ත්වයක් යටතේ බව වාර්තා වේ.
එකල කොළඹ නගරයේ රෙදි අපුල්ලන්නන් යනු කොළඹ නගරයට අත්‍යවශ්‍යම සේවාවක් බවට පත් වී තිබුණි. ඒ නිසා කොළඹ නගරයේ බොහෝ තැන්වල රෙදි අපුල්ලන ස්ථාන හෙවත් ඩෝබි බක්කි හෙවත් ඩෝබි තොටුපොළවල් බොහෝ විය.
ඊට අමතරව ලොන්ඩරී වතු හෙවත් ලොන්ඩරී මඩු ද තැන තැන පැවතුණි. ඒවා බොහෝ දුරට කොළඹ නගර සභාව විසින් ඉදිකොට දුන් ඒවා විය.
මේ රෙදි අපුල්ලනන්ගේ වර්ජනය පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර එකල ලංකාවේ රෙදි අපුල්ලන්නන්ගේ කර්මාන්තය තිබූ තත්ත්වය විමසා බලමු.
බ්‍රිතාන්‍ය යුගයේ දී කොළඹ නගරයේ ඇති වූ දේශීයයන් (කළු සුද්දෝ) සහ විදේශීයන් ගෙන් යුත් නව රාජ්‍ය නිලධාරි පැලැන්තිය සහ ව්‍යාපාරික පැලැන්තිය ද බ්‍රිතාන්‍යයන් මෙන්ම සාටෝපවාදී ඇඳුම් රටාවට හුරුවීම ඉහළ ගෞරවයක් ලෙස සැලකින.

රෙදි අපුල්ලනන්ගේ වර්ජනය
එම නිසා කොළඹ ජීවත් වූ ඉංග්‍රීසි සහ දේශීය ප්‍රභූන් ද රාජ්‍ය නිලධාරි පන්තියේ සියලුම දෙනා තමන්ගේ ඇඳුම් පැළඳුම් ඉතාම පිරිසිදුව සහ පිළිවෙළකට එනම් නීට් (Neat) එකට ඇඳීම විශාල ගෞරවයක් ලෙස ද අනිවාර්ය සාධකයක් ලෙස ද සැලකීම නිසා සුද්දන් මෙන්ම කළු සුද්දන් ද තමන්ගේ ඇඳුම් ඉතා පිළිවෙලකට ගෞරවාන්විතව ඇඳ පැළඳීමට විශාල ප්‍රමුඛතාවයක් ලබා දුන්නේය.
එසේ ගෞරවාන්විතව ඇඳුම් පැළඳුම් නොඇඳීම රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් ලැබිය හැකි වරදක් බවට ද පත්විය.
කොටින්ම රෙදි සෝදා කැඳ දමා පොල් කටු ස්ත්‍රික්කයෙන් අත ගෑවුන සැණින් කැපෙන තරමට මුවහතට මැද ක්‍රීස් එක තබා සැකසූ ඇඳුම් ඇඳීම එකල කොළඹ ජේත්තුකාර පැලැන්තියේ ප්‍රධාන අනිවාර්ය ප්‍රදර්ශනකාමී ජීවන සාධකයක් විය.එසේම කොළඹ ජීවත් වූ කළු සුද්දන්ගේ පවුල්වල ගෑණු පිරිමින්ගේ යට ඇඳුම් පවා සෝදා කැඳ දමා මැද ඇඳීමට තරම් ඔවුහු මේ යටත් විජිත ඇඳුම් සංස්කෘතියට පුරුදු වී සිටියහ.
මේ තත්ත්වය තුළ බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාවේ කොළඹ ලොන්ඩරී සේවා ආශ්‍රිත කර්මාන්තවලට විශාල ඉල්ලුමක් ඇතිවීම නිසා කොළඹ රෙදි අපුල්ලන්නන්ගේ සේවා සඳහා තිබුණේ විශාල ඉල්ලුමකි. එම ඉල්ලුම සම්පූර්ණ කිරීමට කොළඹ තදාසන්නයේ සිටි රෙදි පිලි සේදීමේ කුල ප්‍රජාවට ( රෙදි, රිදී, රදා යනාදී නම් වලින් කියවුණ රජක කුලය ) නොහැකි විය. එම නිසා කොළඹ නගරයේ ඇඳුම් පැළඳුම් පිරිසුදු කිරීමට සහ ඇඳුම් මැද සැකසීමට ඒ සඳහා පලපුරුදු හෙවත් ලොන්ඩ්‍රි කර්මාන්තය පිළිබඳ නිපුණතාවයෙන් යුක්ත විශාල පුහුණු ශ්‍රමයක් කොළඹට අවශ්‍ය විය.
මේ තත්ත්වය තුළ කොළඹ ඇතිවුණ මෙම රෙදි අපුල්ලන්නන්ගේ ඉල්ලුමට රෙදි සේදීමේ සහ එම කර්මාන්තයේ නිපුණතාව ඇති වෘත්තීය පුහුණු මිනිසුන් හෙවත් ඩෝබිලා එකල තිබූ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ලංකාව තුළ එම කුලයේ අය ප්‍රමාණවත් තරම් නොසිටි හෙයින් එම කුලයට අයත් නොවන වෙනත් අයද කොළඹ මෙම රෙදි ඇපිල්ලීමේ හෙවත් රජක කුලයේ වැඩ කිරීමට යොමු වුණේ එය හොඳ ආදායම් මාර්ගයක් ලෙස එකල සැලකුණ නිසාය.
මෙම රෙදි පිළි සේදීමේ සහ ඊට අදාල පරිවාර සේවාවල ඒකාධිකාරිය තිබුණේ ලංකාවේ අය අතය. අපි සාකච්ඡා කරන රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනයේ දී එම ඒකාධිකාරය බිඳ දැමීමට ඩෝබි වෘත්තිකයන් විශාල වශයෙන් ඉන්දියාවෙන් කොළඹට ගෙන්වීමට ඉංග්‍රීසියෙන් තීරණය කළේය. එසේ ඉන්දියාවෙන් පැමිණෙන ඩෝබි වෘත්තිකයන් සහ ඔවුන් කොළඹට රැගෙන එන කංකානිලා දිරිගැන්වීමට ද එකල බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු කළේය.
දකුණු ඉන්දියාවෙන් ද කේරළයෙන් ද බොම්බායෙන් ද මේ රෙදි අපුල්ලන්නෝ බහුල වශයෙන් මෙරටට පැමිණියහ. ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද රජ දවස සිට රෙදි සේදීම වෙනම කුලයකට පැවරී තිබීම නිසා රෙදි ඇපිල්ලීම පිළිබඳ නිපුණතාවෙන් යුක්ත වෙනම දැවැන්ත ජනකොටසක් ඉන්දියාව පුරාම පැතිරී සිටියහ. එසේම සුද්දන්ගේ සිරිත් විරිත්වලට බරපතල ලෙස අනුගත වී බ්‍රිතාන්‍ය ගැති ඇඳුම් පැළඳුම් රටාවකට ඉන්දියානු ඉහළ පැලැන්තිය සහ එකල වැඩී ගෙනා ඉන්දීය නාගරික මධ්‍යම පංතිය ද ලංකාවේ මෙන්ම පුරුදුවීම නිසා ඉන්දියාවට ද මේ ආකාරයටම රෙදි අපුල්ලන්නන් අවශ්‍ය වී තිබුණේ බොහෝ කලකට පෙර සිටය.
එම නිසා ඉන්දියාව පුරාම දහස් ගණන් (Dhobi Gaht) ඩෝබි ගාට් බිහි වී තිබුණි. ගංගා, ඇල ඉවුරු හා බක්කි බැඳ වෙනම ඉදිකළ මෙම ඩෝබිගාට් ආශ්‍රිතව ද ඉන්දියාව පුරා මෙම රෙදි පිළි සේදීමේ කර්මාන්තය පැතිර තිබිණි.අදටත් ඒ ඩෝබගාට් එයාකාරයෙන්ම පවතින අයුරු හින්දි සහ දෙමළ චිත්‍රපටවලින් චිත්‍රපටවල දැකිය හැක.
කොළඹ රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනය ආරම්භ වන්නේ, නගරයේ සියළුම රෙදි පිරිසිදු කරන ඇළ දොළ, ගංගා තොටුපළවල් හා බක්කි තොටුපොළවල් හා ලිං ලොන්ඩරි බක්කි නගර සභාවේ ලියාපදිංචි කළ යුතු බවටත් ඒ සඳහා බලපත්‍ර ලබාගෙන බදු ගෙවිය යුතු බවටත් කොළඹ නගර සභාව ගෙනා අලුත් නීතිය සමඟය.
මේ වන විට කොළඹ නගරයේ දළ වශයෙන් රෙදි අපුල්ලන ස්ථාන සීයකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති බවත්, එකල ලොන්ඩරි වැඩ කරන පුද්ගලයන් හෙවත් ඩෝබිලා දහසකට ආසන්න පිරිසක් සිටි බවට ලේඛනවල සටහන් වේ.
නගර සභාවේ අලුත් නීතිය සමඟ මේ ඩෝබිවරු සියලු දෙනා එකරැස් වී 1896 ජූලි පළමුවෙනිදා සිට රෙදි ඇපිල්ලීමෙන් ඉවත්වීමට තීරණය කළහ.
ඒ අනුව ඔවුහු නගර සභාවේ මෙම තීරණයට විරුද්ධව, ආණ්ඩුකාර සර් ජෝශෆ් වෙස්ට් රිජ්වේට ද මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායකට ද නීතිපති පී. රාමනාදන්ට ද පෙත්සම් ලියූහ. එසේම ඔවුහු වැඩ වර්ජන අරමුදලක් ද ඇති කළහ. අදාල ආඥා පනත යටතේ නගර සභාවේ ලියාපදිංචි වූයේ රෙදි අපුල්ලන්නන් හය දෙනෙකු පමණක් බව දැක්වේ.
රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනයේ සටන්කාමී මධ්‍යස්ථානය වූයේ කොල්ලුපිටිය පොල්වත්තේ ලොන්ඩරිවත්තය. එහි රෙදි අපුල්ලන්නන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වූහ. ඊට එහා බේරේ වැවේ වෑකන්දේ තවත් ඩෝබි පවුල් රාශියක් වූහ. මෙම වර්ජනයට රජගෙදර රෙදි අපුල්ලන්නා ද වර්ජකයන්ට ශක්තියක් වෙමින් රජ ගෙදර රෙදි ඇපිල්ලීමේ කටයුතුවලින් ඉවත් විය.
ඔවුන්ට බාහිර ශක්තිමත් නායකයෙකු නොසිටි නමුත් Ceylon Independent පුවත්පතේ අයිතිකරු හෙක්ටර් වැන්කුයිලන්බර්ග් සහ එකල පොල්වත්ත පල්ලියේ හෙවත් ශාන්ත මයිකල් දේවස්ථානයේ (ගල්පල්ලිය) මීසම භාර එංගලන්ත සභාවේ දේවගැතිවරයා සහ පත්‍රකලාවේදියකු වූ ජී. බී. ඒකනායක දේවගැතිතුමා ඔවුන්ට සහාය විය.
මේ දෙදෙනාම නගරයේ දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වූ ඒ අයගේ ආදරය දිනාගත් චරිත දෙකකි.
නාගරික නිලධාරීන් හා පොලිසිය හැම විටම නාගරික දිළිඳු මිනිසුන් විවිධ චෝදනාවලට ලක් කරමින් මුදල් ගසා කෑමට විරුද්ධවීම මෙම වර්ජනයේ ප්‍රධාන ඉලක්කයක් වූ බව Times of Ceylon පුවත්පත එකල සඳහන් කර ඇත.
එකල බහුතරයක් පුවත්පත් මෙම රෙදි අපුල්ලන්ගේ සටනට උපරිම සහය ලබා දී ඇත.එහි දී එම පුවත්පත් පෙන්වා දී ඇත්තේ,මෙම රෙදි අපුල්ලන්නන්ගේ වර්ජනය නාගරික නිලධාරීන් හා පොලිසිය හැමවිටම අසරණයන් පීඩාවට ලක් කිරීම හා අල්ලස් ගැනීම වැනි කටයුතු නිසා ඉන් නිරන්තරයෙන් පීඩාවට නගරයේ අසරණයන් ඊට එරෙහිව නැගී සිටි අවස්ථාවක් ලෙසය.
- "රෙදි අපුල්ලන්නන්ගේ වැඩ වර්ජනය වනාහි අයථා නාගරික පාලනය නිසා කොළඹ නගරයේ වර්ධනය වෙමින් ඇති අර්බුදයේ ප්‍රථම ලක්ෂණය වෙයි" Times of Ceylon පුවත්පත
- "ඉවසිය නොහෙන තැන පණුවන් නලියන බව ප්‍රාදේශීය ආණ්ඩුව තවම ඉගෙන ගෙන නැත" Ceylon Review ඉංග්‍රීසි පුවත්පත
මේ සටන්කාමී රෙදි අපුල්ලන්නන්ගේ නායකයා වූ හරමානිස් පොලිස් අත්අඩංගුවට ගෙන නඩු පැවරුවේ, "රෙදි ඇපිල්ලීමේ කටයුතුවල නිරත වූ අයට තර්ජනය කිරීමේ" චෝදනාව යටතේය. ඔහු සමග අත්අඩංගුවට ගත් අනිත් අය නිදහස් කළ ද හරමානිස්ට මාසයක බරපතළ හිර දඬුවමක් සහ රුපියල් 25ක දඩයක් නියම විය. හරමානිස් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ හෙක්ටර් වැන්කුයිලන්බර්ග් ය.

වර්ජනයෙන් ඉහල පැලැන්තිය හාන්සියි
මේ වන විට ලංකාවට ඉන්දියාවෙන් රෙදි අපුල්ලන්නන් පැමිණ සිටියේ ද අල්ප පිරිසකි. ලංකාවේ රෙදි පිරිසිදු කිරීමේ වෘත්තියට අදාළ මෙරට දේශීය ජනයා සිටියේ ද ඉතාමත් සුළු පිරිසක් බැවින්, මෙම වර්ජනයට මුහුණදීමට කොළඹ මහ උන්දැලාට නොහැකි විය.
"පිරිසුදු ඇඳුම් නැතිකම නිසා තමන්ට පල්ලියාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත" යනුවෙන් කොළඹ නාගරික ඉහළ පුරවැසියෝ පුවත්පත්වලට ලිපි ලියමින් ආණ්ඩුවට යෝජනා කර ඇත්තේ "වහාම ඉන්දියාවෙන් ඩෝබිවරුන් ගෙන්වන" ලෙසයි. එසේම සිංගප්පූරුවෙන් චීන ජාතික රෙදි අපුල්ලන්නන් ගෙන එන බවට ද ආණ්ඩුවට පක්ෂපාතී පුවත්පත්වල ව්‍යාජ ප්‍රවෘත්ති පළවිය. සමහරු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ "රෙදි අපුල්ලන්නන් මදුරාසියෙන් ගෙන්වා ගමු" යනුවෙනි. තවත් සමහර ප්‍රභූන් යෝජනා කළේ "රෙදි අපුල්ලන්නන් ලෙස හිරකරුවන් පාවිච්චි කළ යුතු" බවය.
එවකට මහමුදලි වූ සොලමන් ඩයස් බණ්ඩාරනායකට මෙම අර්බුදය විසඳීමට ආණ්ඩුකාරයා බාර දුන් අතර අවසානයේ, සති තුනක් පමණ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම වැඩ වර්ජනය තවදුරටත් වැඩිදුර අල්ලා ගෙන සිටීමට වර්ජකයන්ට නොහැකි වූයේ ඒ සඳහා අරමුදල් ලැබීම හීන වී ගිය නිසාය. අවසානයේ ජූලි 21 දා මහමුදලි වෙත නියෝජිත පිරිසක් යවමින් ඔවුන් නගර සභාවේ ලියාපදිංචි වීමට තීරණය කළේය. නමුත් කොල්ලුපිටිය පොල්වත්තේ රෙදි අපුල්ලන්නන් තවදුරටත් එසේ ලියාපදිංචි නොවීමට දැඩි තීරණයක තව ටික දවසක් සිටිය ද අවසානයේ ඔවුන්ටද එම නීතියට යටත් වීමට සිදුවිය.
ඒ කෙසේ වෙතත් රෙදි අපුල්ලන්නන්ගේ වැඩවර්ජනය විශ්මය ජනක සිද්ධියක් වූ බව සමාජ විද්‍යාඥ අප රටේ සිටින ගෞරවනීය ලේඛිකාවක් වන කුමාරි ජයවර්ධන මහත්මිය පෙන්වා දෙයි. මන්ද ලංකාවේ කොළඹ රෙදි අපුල්ලන්ගේ වැඩ වර්ජනය ඉන්දියාවේ හෝ ලංකාවේ ඒ අන්දමින් උගත් ප්‍රබුද්ධ නායකත්වයකින් තොරව සංවිධානාත්මකව සිදුකෙරුණු ප්‍රථම වර්ජන උත්සාහය බව ඇය පෙන්වා දෙන්නීය.
ඉන්දියාවෙන් ඩෝබිලා ලංකාවට
වැඩ වර්ජනය අසාර්ථක වුවත් එය එකල මුළු රටේම ඉමහත් සාකච්ඡාවට ලක් වූ කවි කොළකරුවන් මහත්මිය උද්යෝගයෙන් සිය කවි කොළ ඔස්සේ වාර්තාකළ ඈත ගම් නියං ගම්වල පවා මිනිසුන් සාකච්ඡාවට කතාබහට ලක් කළ දැවැන්ත සටන්කාමී වැඩක් ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත.
මෙම වැඩ වර්ජනයෙන් පසුව යටත් විජිත පාලකයන් මෙරට රෙදි අපූර්වන්නන්ගේ සේවා සඳහා දේශීය ජනයා අත පැවති ඒකාධිකාරිය බිඳදැමීමට ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් රෙදි අපුල්ලන්නන් ලංකාවට ගෙන්වා ගැනීමට අදාල අංශ වලට දිරි දී ඇත.

| උපුල් ජනක ජයසිංහ
(ඡායාරූප - අන්තර් ජාලයෙන්)

