“දිත්වා සුළි කුණාටුව ඇවිත් ගිහින් මාස 6 කටත් වඩා ගත වුනා. එදා අපේ ගෙවල් ඔක්කොම විනාශ වෙලා අනාථ කඳවුරට ගිහින් තමයි පණ බේර ගත්තේ. ඒ වුනාට අදටත් යන්න එන්න තැනත් නෑ. කූඩාරම්වල ඉන්නේ. ගෙයක් හදා ගන්න ඉඩමක් දෙන්නේ නෑ. වත්තේ වැඩ කරන නිසා වෙන තැනකින් ඉඩමක් ගන්නත් බෑ. අම්මා, අප්පා, පරම්පරා ගාණක් ජීවත් වුන මේ තේ වත්තේ අපිට කියලා කිසිම අයිතියක් නැද්ද මහත්තයා......”
පසුගිය දිනෙක කඳපොලදි අපට හමුවූ කේ. සෙල්වරානි තම ශෝකාලාපය පිටකළේ එලෙසිනි. රටේ පවතින සාමාන්‍ය ඉඩම් අයිතිය ඇයට අහිමිය. ඇගේ පරම්පරාව මෙරටට පැමිණ කඹුරන්න පටන් ගෙන වසර 200 ක් වැඩි කාලයක් ගත වුවද, තවමත් එම තේ වතුයායේම දළු නෙළන ඇයට මේ බිමේ කිසිදු අයිතිවාසිකමක් නැත. එය තවමත් පවතින්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ තිබු අයුරින්මය.
වර්තමානය වනවිට එම ප්‍රජාව වඩාත් විධිමත්ව හැඳින්වීම සඳහා “මලයහම්” ප්‍රජාව යන යෙදුම ව්‍යවහාරයට පැමිණ තිබේ. අදින් වසර 200 කට පමණ ඉහත කාලයක දී දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණ ශ්‍රී ලංකා ආර්ථිකයට ශක්තියක් වෙමින් ජීවත් වෙන මේ ප්‍රජාව, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය, සනීපාරක්ෂක, ආහාර, වැටුප් මේ ආදී ප්‍රශ්න අර්බුද ගණනාවකට මුහුණ දෙන බව ප්‍රකට කරුණකි.
“ඉඩම් ප්‍රශ්නය තද බල විධිහට තියෙනවා. මම ගුරුවරයෙක්. පහුගිය සුළි කුණාටුවෙන් වත්තේ තිබුණු මගේ නිවසත් විනාශ වුනා. අදටත් කුලි ගෙයක ඉන්නේ. වත්තෙන් ඉඩමක් ඉල්ලුවම කියන්නේ අපි වත්තේ වැඩ නැති නිසා නිසා එහෙම ඉඩම් දෙන්න බැරිළු. අනෙක් පැත්තෙන් කියනවා අපි වත්තේ නිසා වෙන තැනකින් ඉඩමක් දෙන්න බැරිලු. ඔවුන් කියන්නේ අපි ඉන්දියාවෙන් දළු කඩන්නයි ගෙනාවේ. ඒ නිසා වෙන රැකියා කරන්න එපා කියලද?”
එසේ කියන්නේ, කඳපොල, කොන්කෝඩියා වත්තේදි අපට හමුවූ ජෙයපාලන්. අද වතුකරයේ බොහෝ දෙනා වෙනත් රැකියා සොයා යාමේ සුලභතාවයක් තිබේ. එයට හේතුව වන්නේ අවප්‍රසාදිත, ආන්තික ප්‍රජාවක් ලෙස ඔවුන් තවදුරටත් වතු කරයේ කොටුවීමට සුදානම් නොවීමයි. එහෙත් එය සාර්ථකවී තිබේද?
වර්ථමානයේ වතුකරයේ දරුවන්ගෙන් සියයට 3.3 ක් පමණක් උසස් පෙළ හදාරණ අතර (මූලාශ්‍රය අධ්‍යාපන අමාත්‍යාංශය), මේ වන විට ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ මලයහම් ප්‍රජාව නියෝජනය කරන තිදෙනකු පමණක් සිටීම තුළින් ඔවුන්ගේ අධ්‍යාපන සීමාව අපට මනාව පසක් කොට ගත හැක. ගත වූ වසර 200 ක කාලය ගත්විට එම ප්‍රජාවෙන් මෙරට පරිපාලන සේවයට එක්ව ඇති පිරිස 10කටත් වඩා අඩුය. වෛද්‍ය, ඉංජිනේරු වැනි අනෙකුත් වෘත්තියක් සම්බන්ධයෙන් තත්ත්වය ඊට වඩා ඛේදනීයය. ඉඩම් ගැටළුව, අධ්‍යාපන ගැටළුවට අමතරව, සියයට 42 ක් දිගුකාලීන මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළීම සහ උප්පැන්න සහතිකයෙහි අනන්‍යතාව පිළිබඳ අර්බුදය ආදී ඉතා වැදගත් හා එම ප්‍රජාව මුහුණ පා සිටින සමාජ ආර්ථික අර්බුද මනාව හෙළි කරනු ලබයි. (උපුටා ගැනීම New Developments and Emerging Issues in the Plantation Sector: Possible Policy Options පර්යේෂණ වාර්තාව)
ඊට අමතරව අද වන විට “මලයහම්” ජනතාව අතර, අලුතින්ම ප්‍රශ්න ගණනාවක් පැන නැගි ඇත. එයින් කීපයක් නම්, උපත් අනුපාතිකය පහළ යෑම. එයින් අනාගතයේ දී මෙම ප්‍රජාවේ දේශපාලන නියෝජනයට හා ඉල්ලීම්වලට අහිතකර ලෙස බලපෑම හැකි අතර, වයස්ගත ජනගහනය 18% දක්වා ඉහල ගොස් තිබේ. එයට සාපේක්ෂව තරුණ විරැකියා අනුපාතය ඉහළ අගයක් ගෙන ඇත.
අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නය ඉන්දියානු දමිළ ප්‍රජාව මෙරටට සංක්‍රමණය වූ දා සිටම මුහුණ දෙන ප්‍රශ්නයක් වේ. ලංකාවේ සිටින ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ජනතාව 865,679 ක් වන අතර, එයින් ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් තමන් ඉන්දියානු දෙමළ යන අනන්‍යතාවෙන් හැඳින්වීමට කැමැත්ත ප්‍රකාශ කරන බවත්, ඉතිරි පිරිස ශ්‍රී ලාංකේය දෙමළ නැතිනම් මලයහම් දෙමළ යනුවෙන් හැඳින්වීමට කැමැත්ත ප්‍රකාශ කරන බව 2025 අවසන් ජන හා නිවාස සංගණන වාර්තාවෙන් හෙළි වී තිබුණි.
මේ සම්බන්ධයෙන් වෙනත් මතයක් ඇති අතර එය නියෝජනය කරන්නෙ වර්ථමාන තරුණ පරම්පරාව හා සිවිල් සංවිධාන සමාජිකයයනුයි. ඔවුන් පවසන්නෙ තමන්ට වෙනම අනන්‍යතාවක් අවශ්‍ය බවත්, අවුරුදු 200 ක් තිස්සෙ මලයහම් ප්‍රදේශවල ජීවත් වෙන නිසා මලයහම් දෙමළ යන අනන්‍යතාව අවශ්‍ය බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් සංගණන වාර්තාවෙන් මලයහම් ප්‍රජාව හැඳින්වූයේ ඉන්දියානු දෙමළ - මලයහම් යනුවෙනුයි. එහෙත් ඒ සඳහා නිසි තීරණයක් ගැනීමට පාලකයන් අසමත්වීම හේතුවෙන් එය නීතියක් බවට පත්ව උප්පන්න සහතිකයට ඇතුල්වීමට අවශ්‍ය විදිවිධාන සලසා නැත.
මෙවැනිම තත්ත්යන් තූළදි අසල් වැසි ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අඩු කුලවල ජනතාව ඉහළට ඔසොවා තැබීම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ. ඔවුනට අදාළ වෙනම රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන අතර, නේපාලයේත් එවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. ලංකාවේ මලයහම් ප්‍රජාව වසර 200 ක් පමණ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් ප්‍රජාවක් මෙන්ම ශ්‍රී ලංකාව තුළ අවප්‍රසාදිත, ආන්තිකරණයට ලක්වූ ප්‍රජාවක් වන බැවින් ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාදීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම ආසාධාරණ නොවේ.
මලයහම් ප්‍රජාව සම්බන්ධ ප්‍රශ්න බොහෝමයක් මානවයාගේ මූලික අවශ්‍යතා හා අයිතිවාසිකම්වලට සම්බන්ධ බව පැහැදිලි ය. එනම්, ඉඩම්, ආහාර, සෞඛ්‍යය, සනීපාරක්ෂාව, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර රැසක ප්‍රශ්නවලින් ඔවුහු පීඩා විඳිති. ආණ්ඩුව ජනගත කළ හැටන් ප්‍රකාශනයෙන් මෙම ප්‍රජාවගේ අනන්‍යතා ප්‍රශ්නය විසඳන බවට ප්‍රතිඥා දුන්න ද එය මෙතෙක් යථාර්ථයක් බවට පත්ව නැත.
මෙම තත්ත්වය මත, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වැදගත් වන අතර, උඩරට වතුකරයේත්, අනෙකුත් ආන්තික සුළුතර ප්‍රජාවගේ අතියිවාසිකම්, ඇතුළු කණ්ඩායම් අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කළ යුතු බවත්, බොහෝ රටවල කුල පීඩිත හෝ පසුගාමී සමාජ කණ්ඩායම් සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියෙන් ම ලබා දෙන ආකාරයේ වරප්‍රසාද හා ඉඩම්, ආහාර, සෞඛ්‍යය, සනීපාරක්ෂාව, අධ්‍යාපනය ආදී අයිතීන්, මලයහම් ප්‍රජාවටත් ලබාදීම පාලකයක් දැන් වත් ඇස් ඇර බැලිය යුතුව තිබේ.

| සම්පත් ජයලාල් - නුවරඑළිය

