දකුණු පළාතේ දිස්ත්‍රික්ක දෙකකට අයත් තේ වතු මාලාවක වහල් ශ්‍රමය, ණය බන්ධන, ලිංගික අඩන්තේට්ටම්, ළමා ශ්‍රමය සූරාකෑම සහ අවම වැටුප නොගෙවීම ඇතුළු මලෛයහ දෙමළ කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයන් සිදු වන ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් හෙළි කොට තිබේ.
ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ශතවර්ෂ එකහමාරකට ඉහත යටත් විජිත යුගයේ අත්විඳි දුක් පීඩා අදත් එලෙසම පවතින බව තහවුරු කරන එම කම්පා සහගත තොරතුරු පල කොට ඇත්තේ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් සිදු කරන ලද වසර දෙකක සමීක්ෂණයකින් අනතුරුව කොළඹදී ජනගත කරන ලද නවතම වාර්තාවකය.
“රාජ්‍යයෙන් අත්හැර දමා, පෞද්ගලික වතු තුළ සිරවී: ශ්‍රී ලංකාවේ මලෛයහ දෙමළ තේ වතු සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්” මැයෙන් භාෂා ත්‍රිත්වයෙන්ම පළ කර ඇති පිටු 65ක වාර්තාවට පදනම් වී ඇත්තේ ගාල්ල හා මාතර පෞද්ගලික සහ කුඩා තේ වතුවල මලෛයහ දෙමළ කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබීම් ය.
පර්යේෂකයන් වතු 45 හි සේවකයන් සමඟ සම්මුඛ සාකච්ඡා 154ක් සහ මෙම වතුවලින් පිටත දකුණු පළාතේ වතුවල ජීවත් වූ සහ වැඩ කරන ලද සේවකයන් සමඟ 2024 ජනවාරි සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ සම්මුඛ සාකච්ඡා පහක් පවත්වන ඇති අතර පර්යේෂකයන් සේවකයින් 65 දෙනකු සමඟ ඉලක්ක කණ්ඩායම් සාකච්ඡා 15 ක් ද පවත්වා ඇත. සම්මුඛ සාකච්ඡා වලට ළමුන් හතර දෙනෙකු (අවුරුදු 18ට අඩු) ඇතුළත් වී ඇති අතර සිංහල ලෙස හඳුනාගත් තිදෙනෙකුට අමතරව, සම්මුඛ සාකච්ඡා කළ සාතිශය බහුතරය මලෛයහ දෙමළ ජාතිකයන් වු බව ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය වාර්තාවේ ආරම්භයේම සදහන් කර තිබේ.
ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමය, වහල් ශ්‍රමය, ජීවන සහ සේවා තත්ත්වයන් කෙරෙහි පර්යේෂණ ප්‍රශ්නවල අවධානය යොමු කෙරුණු අතර සංචාර සිදු කරන අතරතුර, වතුවල ජීවන සහ සේවා තත්ත්වයන් පිළිබඳව නිරීක්ෂණ ද වාර්තා කර ගන්නා ලද බවයි.
සිය වාර්තාව මගින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ මලෛයහ දෙමළ ප්‍රජාව පෙළපත මත පදනම් වූ ආයතනගත වෙනස් කොට සැලකීම් වලට මුහුණ දෙමින් සිටින අතර, එය ශ්‍රමය සූරාකෑමට ඔවුන් ගොදුරුවීමේ අවදානමට සෘජුවම දායක වන බවයි.
"විශේෂයෙන් සෞඛ්‍ය සේවා වැනි රජයේ සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී, මෙම ප්‍රජාව අඛණ්ඩව සිදුවන පද්ධතිමය බැහැර කිරීම් නිසා බලපෑමට ලක්වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ප්‍රජාව හුදකලා වී සිටින අතර, ජීවනෝපාය සහ නවාතැන් සඳහා පමණක් නොව, සුබ සාධනය සඳහාද ඔවුන්ගේ සේවායෝජකයින් මත දැඩි ලෙස යැපීමට සිදුව ඇත."
තේ අපනයනය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ආදායම ලබාදෙන ප්‍රභවය වුවද, එහි ප්‍රතිලාභය ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ කොඳු නාරටිය වන මලයහ දෙමළ සේවකයින් වෙත ළඟා වී නොමැති බව පෙන්වා දෙන මෙම වාර්තාව අවධාරණය කරන්නේ කම්කරු නීති උල්ලංඝනය සහ සාපරාධි ක්‍රියා සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ශක්තිමත් නීති රාමුවක් සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක් මෙරට න්‍යායාත්මකව ඇතත්, ‘ව්‍යුහාත්මක අසමානතාව සහ ශ්‍රමය සූරාකෑමේ ක්‍රම වේදයන් සහිත සන්දර්භයක් තුළ, වතු සේවකයන්ට මෙම පද්ධතියට ප්‍රවේශ වීම අතිශයින්ම අභියෝගාත්මක වී ඇති’ බවයි.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ මලෛයහ දෙමළ සේවකයන්ගෙන් බලහත්කාරයෙන් ලබාගන්නා ශ්‍රමය ඇතුළුව, විවිධ මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පීඩා විඳින බව පර්යේෂණයෙන් හෙළිදරව් කරගත් අතර මෙය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නීතිය යටතේ ඇති බැඳීම් වලට පටහැනි බවයි.
"ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමය අර්ථ දක්වන්නේ සේවකයා " ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී නොමැති " විටක " ඕනෑම දඬුවමක් දීමේ තර්ජනය යටතේ ගනු ලබන" වැඩ ලෙසය. බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමය පිළිබඳ නිශ්චිත දර්ශක ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් හඳුනාගන්නා අතර, ඒවාට අවදානම භාවය අනිසි ලෙස භාවිත කිරීම, බිය ගැන්වීම් සහ තර්ජන, ශාරීරික හා ලිංගික ප්‍රචණ්ඩත්වය, වහල් ශ්‍රමය, එහාමෙහා යාම සීමා කිරීම සහ නින්දා සහගත වැඩ කිරීමේ සහ ජීවන තත්ත්වයන් ඇතුළත් වේ."
"අවදානම්භාවය අනිසි ලෙස භාවිත කිරීම බලහත්කාරයෙන් ලබාගන්නා ශ්‍රමයේ ප්‍රධාන දර්ශකයකි. මලෛයහ දෙමළ ප්‍රජාව දිගු කලක් තිස්සේ පෙළපත, ජන වාර්ගික සම්භවය, කුලය සහ භාෂාව මතපදනම්ව ඓතිහාසික, පද්ධතිමය සහ ව්‍යුහාත්මක වාර්ගික වෙනස්කොට සැලකීම් අත්විඳ ඇති අතර, එමඟින් ඔවුන් බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමයට ගොදුරුවීමේ අවදානමට ලක්ව ඇත. "පෞද්ගලික තේ වතු සහ කුඩා චතුවල සේවායෝජකයන් කුලය මත පදනම් වූ වෙනස් කොට සැලකීම ඇතුළුව, මලෛයහ දෙමළ අනන්‍යතාවයට සම්බන්ධ අවදා නම්භාවයන් අනිසි ලෙස භාවිත කළ ආකාරය ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙහි විමර්ශනයෙන් පෙන්නුම් කෙරේ.
“මලෛයහ දෙමළ ප්‍රජාව මුහුණ දෙන අභියෝග සහ අවදානම, පොදුවේ ඉඩම් නොමැතිකම මඟින් සංකීර්ණ කර ඇති අතර, එයින් අදහස් කරන්නේ බොහෝ දෙනෙකුට ඉඩමක් හෝ ඉඩම් හිමිකමක් නොමැති බවයි. සේවකයින්ගේ නිවාස වතු තුළ ඇති ඔවුන්ගේ රැකියාවට බැඳී ඇති බව පර්යේෂණයෙන් හෙළි වී තිබේ. රැකියාව සඳහා පමණක් නොව නිවාස සඳහාද වතු කළමනා කරණය මත පවතින මෙම බහු විධ යැපීම, සේවකයින් අපයෝජනයට සහ බලහත්කාරයෙන් ලබාගන්නා ශ්‍රමයට ගොදුරුවීමේ අවදානම තවත් වැඩි කරයි.”
සමීක්ෂණය සඳහා යොදාගත් වතු 45 තුළම, සේවකයින් පවසා ඇත්තේ නිවාස සඳහා තම සේවායෝජකයා මත යැපෙන බවයි. බලහත්කාරයෙන් ඉවත් කිරීම පිළිබඳ බිය සහ උගුලකට හසු වූ ආකාරයේ හැඟීම නිසා සේවකයින් අවදානම් සහගත තත්ත්වයකට සහ දුර්වල ජීවන සහ සේවා තත්ත්වයන්ට අභියෝග කිරීමට නොහැකි තත්ත්වයකට පත්කර ඇත.
බලහත්කාරයෙන් ශ්‍රමය ලබාගැනීමේ තවත් ප්‍රධාන දර්ශකයක් වන්නේ ශාරීරික හා ලිංගික අපයෝජනයයි. වතු 15ක සේවකයින් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වෙත පවසා ඇත්තේ වතු කළමනාකාරිත්වය වෙතින් සේවකයන් වාචික සහ / හෝ ශාරීරික අපයෝජනයන්ට ලක්ව ඇති බව හෝ ඒවා දැක ඇති බවයි.
"වත්ත විවේචනය කිරීම, රැකියාවට නොපැමිණීම, ප්‍රමාද වීම සහ නොගෙවූ වැටුප පිළිබඳව විමසීම ඊට හේතු විය. බිය ගැන්වීමේ උපක්‍රමයක් ලෙස ශාරීරික ප්‍රචණ්ඩත්වයේ තර්ජනද භාවිතකළ බව වාර්තා විය. තවද, ලිංගික අපයෝජන අත්විඳින බව සේවකයෝ වාර්තා කළහ."
මලෛයහ දෙමළ සේවකයෝ දරිද්‍රතාවයෙන් ජීවත්වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස වහල් ශ්‍රමය, සහ නිවාස, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා පෞද්ගලික වතු සහ කුඩා වතු මත යැපීම ඇතුළුව, ආර්ථික අවදානම් ඇති වේ.
"වහල් ශ්‍රමය යනු බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමයේ දර්ශකයක් මෙන්ම, එහි එක් ආකාරයක්ද වේ. වහල් ශ්‍රමයෙහි ප්‍රතිඵලයක් ලෙස, පරම්පරා ගණනාවක් පුරාවට පවා අවිනිශ්චිත කාලයක් තුළ සේවකයින් සේවායෝජකයෙකුට බැඳී සිටිය හැකිය." යථාර්ථවාදී නොවන දෛනික තේ නෙළීමේ ඉලක්ක සහ වැටුප් අඩු කිරීම් සම්බන්ධයෙන් විනිවිද භාවයක් නොමැතිකම ඇතුළුව, සේවකයන්ට දෛනික අවම වැටුප ලැබීම වළක්වන උපක්‍රම භාවිත කිරීමෙන්, ආහාර සහ ඖෂධ ඇතුළු මූලික දෛනික වියදම් සපුරාගැනීම සඳහා වැටුප් අත්තිකාරම් සහ ණය මත යැපීමට වතු කළමනාකාරිත්වයන් කම්කරුවන්ට බල කරන බව පර්යේෂණයෙන් හෙළිදරව් වී ඇත.
දෛනික අවම වැටුප් අත්හිටු වීම, නීති විරෝධී වැටුප් අඩු කිරීම්, අර්ථ දැක්වීම් නොකළ ආපසු ගෙවීමේ නියමයන් සහ අධික ලෙස ඉහළ දමා ඇති සිල්ලර බඩු මිල ගණන් නිසා, වතු හිමියන් කෙරෙහි ඇති ණය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන නිමක් නැති චක්‍රයක් තුළට සේවකයින් බලෙන් ස්ථානගත කරන බව පර්යේෂණයෙන් හෙළි වි තිබේ. මෙය ඔවුන්ව වතු හිමියන්ගේ පාලනය යටතේ තබමින්, සමහර විට පරම්පරා ගණනාවක් පුරා, වහල් ශ්‍රමයට සමාන විය හැකි තත්ත්වයකට ඔවුන් පත් කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
අවම වශයෙන් වතු 22ක සේවකයෝ තම එහාමෙහා යාමේ නිදහස කෙරෙහි වතු කළමනාකරණය විසින් පනවා ඇති සීමාවන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත විස්තර කර තිබේ.
"මෙම සීමාවන් වතුයායෙන් වතුයායට වෙනස් වූ අතර, යම් නිශ්චිතකාලයකට පසු වත්තෙන් පිටව යාමට නොහැකි වීම, පෞද්ගලික රාජකාරියක යෙදීමට හෝ අනුමැතියකින් තොරව හෝ පවුලේ සියලුම සාමාජිකයින් සමඟ ගමන් කිරීමට අවසර නොදීම, ගමන් කාලය පිළිබඳ සීමාවන් තිබීම සහ ඔවුන්ගේ ගමනාන්තය කළමනාකාරිත්වයට දැනුම්දීමට සිදුවීම ඇතුළත් විය."
පවුලේ එක් සාමාජිකයෙකු හෝ වතුයායේ රැඳී සිටිය යුතුයැයි වතු විසින් නියම කරන ආකාරය ද සේවයයන් විසින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත විස්තර කර ඇති අතර එසේ නොකළ හොත්, ඔවුන් පලා යනු ඇතැයි බියක් තිබුණි. තම දරුවන් පාසල් යැවීමට අවසර නොදෙන බවද දෙමාපියෝ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත දන්වා තිබේ.
මලෛයහ දෙමළ සේවකයන් නින්දා සහගත වැඩ කිරීමේ සහ ජීවන තත්ත්වයන්ට නිරාවරණය වන අතර, එය බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමය පිළිබඳ තවත් දර්ශකයකි. ශ්‍රී ලංකාවේ තේ වතු සේවකයින් අස්ථිර සේවා තත්ත්වයන්ට මුහුණ දෙන බවට පවතින සොයා ගැනීම් මෙම පර්යේෂණයෙන් තහවුරු වි ඇත.
සම්මුඛ පරීක්ෂණ වලට සහභාගි වූවෝ පෞද්ගලික ආරක්ෂක උපකරණ නොමැතිකම සහ ඔවුන් වැඩ කරන අතරතුර ඇති වූ තුවාල පිළිබඳව විස්තර කර තිබේ. වතු සේවකයින්ගේ වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂක ගැටළු ඉලක්ක කරගත් ජාතික ප‍්‍රතිපත්තියක් හෝ නීති සම්පාදනයක් දැනට නොමැත. තවද, මලෛහ දෙමළ වතු සේවකයින්ගේ ජීවන තත්ත්වයන් ප්‍රමාණවත් නිවාස සඳහා ඇති අයිතියෙහි ප්‍රධාන අංග සපුරාලීමට අපොහොසත් වේ. සේවා කාලයෙහි සුරක්ෂිතතාවක් නොමැතිකමට අමතරව, සේවකයින්ට ලබාදී ඇති නිවාසවල ප්‍රමාණවත් ඉඩකඩ, කාලගුණයට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සහ ප්‍රමාණවත් සනීපාරක්ෂාවක් ද නොමැත.
ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ පර්යේෂණයෙන් මලෛයහ දෙමළ සේවකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ කෙරෙහි ඇති ප්‍රවේශයෙහි සැලකිය යුතු අඩුපාඩු ද අනාවරණය වි තිබේ. සේවකයන් වාර්තා කර ඇත්තේ ඔවුන්ට මාතෘ ප්‍රතිලාභ, විශ්‍රාම වැටුප් හෝ අසනීප නිවාඩු සඳහා ප්‍රවේශයක් නොමැති බවයි.
පෞද්ගලික වතු සහ කුඩා වතු වල සේවායෝජකයින් හිතාමතාම සහ සාවද්‍ය ලෙස මලෛයහ දෙමළ සේවකයින් "අනියම් සේවකයින්" ලෙස වර්ගී කරණය කරන අතර, එමඟින් සියලුම ශ්‍රමය සම්බන්ධ නෛතික හිමිකම් සහ මූලික ව්‍යවස්ථාමය ප්‍රතිලාභ වලින් ඔවුන් ඉවත් කරනු ලබයි. මලෛයහ දෙමළ සේවකයින් "අනියම්" සේවකයින් ලෙස සූරාකෑමේ වැරදි වර්ගී කරණයෙන් අදහස් වන්නේ, වෙනත් දේ අතර, කාන්තා සේවිකාවන් මාතෘ ප්‍රතිලාභවලින් බැහැරකර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ, සේවායෝජකයින් විසින් සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) සඳහා දායක මුදල් ගෙවිය යුතු අතර, එය විශ්‍රාම ගැනීමෙන් පසු සේවකයින්ට ප්‍රතිලාභ ලබාදෙන ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතියේ කොටසකි. වතු සේවකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව පර්යේෂණයෙන් හෙළි වි තිබේ. මලෛහ දෙමළ වතු සේවකයන්ට වැටුප් සහිත අසනීප නිවාඩු සඳහා ප්‍රවේශය නොමැති බවද පර්යේෂණයෙන් ඉස්මතු වී ඇති අතර අසනීප වූ විටද අඛණ්ඩව වැඩ කිරීම අපේක්ෂා කරන බව සේවකයන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත පවසා තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙහි පර්යේෂණයෙන් වැඩි දුරටත් පෙනීයන්නේ, තේ වතු සේවකයන් සඳහා වෘත්තීය සමිති කෙරෙහි ඇති ප්‍රවේශය ඉතා සීමිත බවත්, බොහෝ විට සම්පූර්ණයෙන්ම නොමැති බවත්, හෝ ඔවුන්ගේ සේවායෝජකයන් විසින් තහනම් කර ඇති බවත්ය. පර්යේෂණය අතරතුර බැහැදැකීම් කරන ලද වතු, වෘත්තීය සමිති පිළිබඳ අදහසට විරුද්ධ වූ අතර ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ඒවායෙහි නොතිබුණ බව ක්ෂමා ආයතනය සිය වාර්තාවේ සදහන් කර ඇත.
මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල තේ වතුවල ශ්‍රමය පරීක්ෂා කිරීම් සහ සේවා නියුක්තියෙහි ප්‍රමිතීන් බලාත්මක කිරීමේදී සැලකිය යුතු අසාර්ථකත්වයන් මෙම පර්යේෂණයෙන් සොයා ගෙන තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ නීතිපතා පරීක්ෂාවන් පවත්වන බව කම්කරු දෙපාර්තමේන්තුව පර්යේෂකයන්ට පැවසු නමුත් වතු සේවකයින් සම්බන්ධයෙන් ඔවුන්ගේ ලිය කියවිලි නොමැතිකම සහ භාෂා බාධකය නිශ්චිත අභියෝග මතු කරන බව අවධාරණය කළ බවයි.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් නීති රාමුවක් තිබියදීත්, යුක්තිය කෙරෙහි ප්‍රවේශ වීමේදී හෝ අපයෝජන හෝ දුර්වල සේවා තත්ත්වයන් වෙනුවෙන් පිළියම් ලබා ගැනීමේදී මලෛහ දෙමළ සේවකයෝ බහු විධ අභියෝග වලට මුහුණ දෙන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නස්ටි ජාත්‍යන්තරය සිය වාර්තාව මගින් පෙන්වා දි තිබේ.
"භාෂාව, භූගෝලීය වශයෙන් පවතින දුර, වැටුප් අහිමිවීම නිසා පැමිණිලි සම්බන්ධව පසු විපරම් කිරීම සඳහා රැකියාවෙන් නිවාඩු ගැනීමට නොහැකිවීම, පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් වෙනස් කොට හෝ අගතිගාමී ලෙස සැලකීම, සහ ඔවුන්ගේ රැකියාවට අදාල ලියකියවිලි සඳහා ප්‍රවේශය නොමැතිකම මේවාට ඇතුළත් වේ."
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පෞද්ගලික වතු සහ කුඩා වතු සම්බන්ධයෙන් මලෛයහ දෙමළ ප්‍රජාවේ අයිතිවාසිකම් කොතරම් දුරට අවතක් සේරු කර ඇත්ද යන්න ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් කරන ලද පර්යේෂණය මඟින් ඉස්මතු කරනු ලබයි.
"විශේෂයෙන්, බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමය පිළිබඳ දර්ශක රාශියක් පැවැතීම සම්බන්ධයෙන් පර්යේෂණය අවධානය යොමු කළ යුතු කරුණු ඉස්මතු කරයි. සමාජ ආරක්ෂණය, සංගමයේ නිදහස සහ යුක්තිය සඳහා වන ප්‍රවේශය කෙරෙහි ඇති අයිතිය ආරක්ෂා කිරීමට සහ සපුරාලීමට සහ ප්‍රමාණවත් ශ්‍රම අධීක්ෂණය සහ පරීක්ෂාව සහතික කිරීමට රාජ්‍යය ක්‍රියා නොකිරීමද එය ඉස්මතු කරයි. "
පෞද්ගලික වතු සහ කුඩා චතුවල කම්කරුවන් මුහුණ දෙන මලෛයහ දෙමළ අනන්‍යතාව මත පදනම් වූ විවිධ අංශ අතර පවතින, කුලය පාදක කොටගත් වෙනස් කොට සැලකීමද මෙම වාර්තාතාව පරීක්ෂාවට ලක්කරයි, එය ආදායම් තත්ත්වය, රැකියාව හා සම්බන්ධ නිවාස මත යැපීම, සීමිත සාක්ෂරතාවය, සහ ක්‍රමයෙන් එක් රැස්වී ඇති ණය තුළින් ප්‍රකාශ වේ.
"මෙම වෙනස් කොට සැලකීමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගොස් ඇති අවදානම් භාවය සේවායෝජකයින් විසින් සූරාකෑමට ලක්කරමින් මලෛහ දෙමළ සේවකයින් බලහත්කාර ශ්‍රමයට යටත් කරනු ලබයි. මෙම සේවකයෝ වතු කළමනාකාරීත්වය අතින් වාචික, කායික හා ලිංගික අපයෝජනවලට ලක්වෙති. නීති විරෝධී වැටුප් අඩු කිරීම්, අර්ථ දක්වා නොමැති ආපසු ගෙවීම් පිළිබඳ නියමයන් සහ අධික ලෙස ඉහළ දමා ඇති ආහාර මිල ගණන් හේතුවෙන් එකතු වී ඇති ණය ආදියෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ණය වක්‍ර වලට ඔවුන් සිරවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සේවකයන් වහල් ශ්‍රමයට සමාන තත්ත්වයකින් සේවායෝජකයා වෙත බැඳ තබා ඇත. තවද, වතු කළමනාකාරිත්වයන් විසින් වතු මායිමෙන් ඔබ්බට ගමන් කිරීමට සේවකයින්ට ඇති නිදහසට සීමාවන් පනවා ඇත."
“ රාජ්‍යයෙන් අත්හැර දමා, පෞද්ගලික වතු තුළ සිරවී: ශ්‍රී ලංකාවේ මලෛයහ දෙමළ තේ වතු සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්” මැයෙන් භාෂා ත්‍රිත්වයෙන්ම පළ කර ඇති වාර්තාව මගින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය පර්යේෂණයේ සොයා ගැනීම් මත පදනම්ව, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් යටතේ ඇති බැඳීම්වලට අනුකූලව, කම්කරු අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා මානව හිමිකම් කොමිෂන් සභාව යන ආයතන වෙත සිය නිර්දේශයන් වෙන වෙනම ඉදිරිපත් කර තිබේ.
(theleader.lk)

