ලක් ඉතිහාසයේ පැරණිම රැකියාවක් ගැන කතාවක් (03 කොටස) - උපුල් ජනක ජයසිංහ

ලක් ඉතිහාසයේ පැරණිම රැකියාවක් ගැන කතාවක් (03 කොටස) - උපුල් ජනක ජයසිංහ

ලිපියේ පෙර සාකච්ඡා කළ පරිදි පසුගිය සියවස මුල් දශකයේ මෙරටට අහුරු පිටින් පැමිණි මෙම ඉන්දීය රෙදි අපුල්ලන්නන් කොළඹ නගරයේ තිබූ ඩෝබිවරුන්ගේ හිඟය නැත්තට නැති කළහ. මෙම ලිපියේ ඉදිරියේ සඳහන් වන අමරවීදියේ ගංගාස් තොටුපොළ හෙවත් පැරඩයිස්  ලොන්ඩරි වත්ත එසේ ආ ඉන්දීය රෙදි අපුල්ලන්නන්  වෙනුවෙන් කොළඹ නගර සභාව ඉදිකළ එක් ලොන්ඩරි මඩුවකි.

ඉන්දියානු රෙදි අපුල්ලන්නන් ලංකාවට පැමිණීමත් සමගය මෙම රෙදි අපුල්ලන්නන් සඳහා ලංකාවේ භාවිතා වූ රදා යන්න වෙනුවට  එම වෘත්තීය කාරකයන්ට ඩෝබි කියන වචනය මෙරට  ආදේශකයක් ලෙස ව්‍යවහාර වෙන්න පටන් ගත්තේ.එදා ගම් වැව්,ගංගා ඇල දොළවල තිබූ රදා තොටුපළවල වෙනුවට ඩෝබිමුල්ල, ඩෝබිගාර්ට්, ඩෝබි ටැංකී,ඩෝබි මඩු  යන නම් ආදේශ වෙමින් කොළඹ නගරය පුරා මෙම ඩෝබි සේවා ස්ථාන බිහි විය. ගෘහ හා පුද්ගල මට්ටමින් සිදුකෙරුණු මෙම සේවාවට ලොන්ඩරි බිහි වී ඒවාට ව්‍යාපාරික  මුහුණුවරක් එකතු වන්නේ ද තවත් ටික කලක් ගිය පසුවය.

දකුණු ඉන්දියාවේ  විවිධ ප්‍රදේශ වලින් මෙන්ම අගනුවර වූ මදුරාසියෙන් ද බොම්බායෙන් ද කල්කටාවෙන් ද කේරළයෙන් ද මථුරාවෙන් ද ලංකාවට මෙම රෙදි සේදීමේ කර්මාන්තය සඳහා ඊට අදාල වෘත්තය නිපුණතාවයෙන් යුක්ත හා කුලයෙන් ඒ සඳහා වෙන් වූ ඉන්දියානුවන් ලංකාවට ගෙන්වීමට එවක ඉංග්‍රීසි පාලකයන් තීරණය කළේ ඩෝබිවරුන්ට තිබී තිබූ අධික ඉල්ලුම නිසා අහුරු අහුරු රෙදි පිරිසිදු  කිරීමේ වෘත්තියෙන් නිපුණතාවයෙන් යුතු රෙදි අපුල්ලන්නන් කොළඹට පැමිණියහ. ඔවුන්  තැන් තැන්වල ගාල් වෙන්න පටන් ගත්තේ තමන්ට ඩෝබි ගාඩ් දා ගැනීමට පහසු ජල පහසුකම් ඇති තැන්වලය.

එසේ ආ අය පිළිබඳ ඉතිහාසය හෝ තොරතුරු හෝ ජනප්‍රවාද සොයා ගැනීම අතිශය දුර්ලභය.එහෙත් එසේ පැමිණි අයගෙන් පැවත එන පරම්පරාවේ තුන්වැනි පරම්පරාවේ සාමාජිකයන් කිහිප දෙනෙකු පංචිකාවත්ත පැරඩයිස්වත්ත හෙවත් ලොන්ඩරිවත්තෙන්  හෙවත් ගංගාස් තොටුපොළින් මෙම ලියුම්කරුට හමුවීම සතුටට කාරණයකි.(ඒ සඳහා මෙම ලියුම්කරුට සම්බන්ධීකරණ කටයුතු සිදුකර දුන්නේ කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය උපදේශිකා නිමාලි ධම්මිකා මහත්මියයි)

කුමාරස්වාමි  මයිල්වාගනම් ඒ අතරේ එක් අයෙකි.

"මට දැන් අවුරුදු හැත්ත හයයි. මම ඉපදුනෙත් මේ ලොන්ඩරිවත්තෙම තමයි. අපේ අම්මා ඉස්පිරිතාලෙට ගිහිල්ලා නැහැ අපිව හම්බුවෙන්න. වින්නම්බු අම්මා ඇවිල්ලා මේ ඩෝබි කාමරවල තමයි අපිව හම්බවෙන ඒවා ඔක්කොම කරලා තියෙන්නේ.

ලොන්ඩරි වත්ත

තාත්තා මාරියප්පන් කුමාරස්වාමි. සීයා තමයි ඉස්සෙල්ලාම ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ මේ රෙදි හෝදන්න. නමුත් අපිට එයාව හමුවෙලා නැහැ. මට නම දන්නෙත් නැහැ.අපේ අම්මා සංකරාවඩී. අම්ම හිටියේ එහා පැත්තෙ ඉස්කෝලෙවත්තේ. දැන් ඒකට කියන්නේ බ්‍රිටෝබාබා පුල්‍ලේ වත්ත කියලා. (වර්තමාන ඛෙත්තාරාම ප්‍රදේශය) එතන ඉස්කෝලයක් තිබුණා. නම දන්නේ නැහැ. නමුත් ඒ කාලේ ඒකට කිව්වේ ඉස්කෝලේවත්ත කියලා.ඒ පාරට හැරෙන තැනම බබාපුල්ලේ ඩොක්ටර් හිටපු නිසා තමයි පස්සේ ඒකට ඩොක්ටර් බබාපුල්ලේ වත්ත කියලා කිව්වේ. මං පොඩි කාලේ වත්තට යනවා අපේ අම්මගේ අම්මයි තාත්තයි බලන්න.ඒ කියන්නේ මගේ ආච්චි සීයයි බලන්න.

ඒ සීයා ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවේ ඕඩයිපෙට්ටි වලින් (Odaipetti). ඒ ගම තියෙන්නේ තමිල්නාඩුවේ රාමේස්වරන් පැත්තට වෙන්න. ආච්චි ඉඳලා තියෙන්නේ මේ පැත්තෙම තමයි.

සීයත් ඇවිල්ලා රෙදි හෝදන එක තමයි කරලා තියෙන්නේ. මෙහෙට සීයත් එක්ක ගොඩක් කට්ටිය ඇවිල්ලා තියෙනවා මේ රෙදි හෝදන වැඩ කරන්න. ඊට පස්සේ සමහරු ලංකාවේ අයව කසාද බැන්දා. සමහරු තන්ජාවූර්වලින් මදුරෙයිවලින් ගෑනු අරගෙන ආවා බැඳලා මෙහෙට.

අපි මේ බක්කි පටන් ගන්න කලින් අපේ සීයලා ඇවිල්ලා ඉස්සෙල්ලාම රෙදි හෝදලා තියෙන්නේ කප්පිත්තාවත්තේ (Captain Garden) කෝවිල ළඟ පල්ලෙහා බේරේ වැවේ. එතකොට  එතන පොඩි කෝවිලක් තිබිලා තියෙන්නේ. ඒ කාලේ බේරේ හරි හොඳ වතුර. කිසිම ජරාවක් නැහැ අපේ සීයලා තාත්තලා නෑවා කියලා අපිට කියලා තියෙනවා. ඉස්සර මේ BCC, Leaver වගේ පැක්ටරිවල ජරා වතුර මේ ඇලවල්වලට බේරේ වැවට දැම්මේ නැහැ. පස්සේ තමයි මේ සේරම කොළඹ තියෙන පැක්ටරිවල වතුර ඇලවල්වලටයි බේරේටයි හැරෙව්වේ. ඊට පස්සේ තමයි මේවා ඔක්කොම ජරා වුණේ. ඒ කාලේ කොළඹ හැම ඇලකම හැම තැනම රෙදිහෝදන තැන් තිබුණා.

අපේ තාත්තලා බබාපුල්ලේ වත්තේ රෙදි හෝදලා තියෙන්නෙත් එතනින් ගිය (ඛෙත්තාරාම ඇල) ඇලෙන්.ඒ ඇල මීගමුවට යනකන් යනවා.ඔය ඇළ දිගටම හැමතැනම රෙදි හෝදන තැන් තිබුණා. ඒවා සිංහල මිනිස්සුයි ඉන්දියාවෙ අයයි ඔක්කොම වැඩ කළා එකට.

සබැඳි කතාව

ඔය BCC ඇලේ අපි පොඩි කාලේ නානවා විතරක් නෙමෙයි මාළු අල්ලන්නත් යනවා. එතකොට ඒ හරියේ අපේ තාත්තලා රෙදි හෝදලා තියෙනවා.මේ හරියේ එක එක ගෙයක්වත් තිබිලා නැහැ.මැල්වත්ත තිබිලත් නැහැ.මේක ඔක්කොම තනිකරම තණකොළ කොටු. මඩවලවල්.(මේ වගුරු බිම්වලට ඔවුන් කියන්නේ වෙල කියාය)

මොකද අපේ තාත්තලා කප්පිත්තා කෝවිල ළඟ රෙදි හෝදනකොට මරදානේ රේල් බෝක්කුව හදන්න (මරදාන හන්දියේ මහ පාලම) පටන් අරන් තියෙනවා.එතකොට තාත්තලාව එතනින් අයින් කරලා තියෙනවා.

ඊට පස්සේ සමහරු ඇවිල්ලා BCC ඇලේ රෙදි හෝදලා තියෙනවා.

මට මතක අපේ තාත්තලා කිව්ව හැටියට අපේ තාත්තලා BCC ඇලේ රෙදි හෝදන එකෙන් අයින් කරලා තියෙන්නේ ඔතන BCC ඇලේ පාලම හදන්න කියලා තමයි.

ඊට පස්සේ තමයි නගර සභාවෙන් මේ ඩෝබි බක්කීයි ගෙවලුයි ලොන්ඩන්රි කාමරයි හදලා දීලා තියෙනේනේ. ඒ 1931 කියලා තමයි කියන්නේ. අපේ පරණ කක්කුසියේ තිබුණා ලියලා 1931 කියලා.ඒ කියන්නේ ඒ කාලෙ තමයි මේවා හදලා තියෙන්නේ.පස්සේ කක්කුස්සිය කඩලා අලුත් එකක් දැන් හදලා තියෙනවා. මේකත් එක්කම ඒ කාලේ කොල්ලුපිටියේ ලොන්ඩරිවත්තයි, වෑකන්ද එකයි,කොටහේනේ (වාසල පාරේ) ලොන්ඩරි මඩුවයි එකටම තමයි මේ ලොන්ඩරි වැඩ කළේ. මේකට කලින් බක්කි හදලා තිබුණේ කොල්ලුපිටිය පොල්වත්තේ. තව කොටහේනේ වාසල රෝඩ් එකෙත් තියෙනවා මේ වගේම නගර සභාවෙන් හදලා දීපු ඩෝබි බක්කි. සුද්දෝ මේවා පිළිවෙලට හදලා අපිට ගෙවල් පවා හදලා දුන්නේ ඒගොල්ලන්ට මේ රෙදි හෝදන එක ගෙවල්වල කරන්න බැරි නිසයි.ඒ වගේම සුද්දන්ට ඒ කාලේ ඔෆිස් වල හිටපු ලොක්කන්ට සල්ලිකාරයෝ සේරටම තමන් අඳින රෙදි බොහොම පිරිසුදුව ලස්සනට හෝදලා කැඳ දාලා මැදලා අඳින්න තමයි පුරුදු වෙලා තිබුණේ.අනික ගොඩක් අය ඒ කාලේ ඇන්දේ තනි සුදු ඇඳුම්. ඒවා ඉතින් ලස්සනට කිරි කොකා වගේ තියෙන්න ඕනේ. ඒ වගේම කොළඹ ලොකුහෝටල්වල රෙදි හෝදන එක තවමත් අපි තමයි කරන්නේ. අනික ඒ පරණ ලොන්ඩරි මඩුවලින් තවමත් සියයට සීයක් දුවන්නේ මේ පැරඩයිස්වත්තේ ඒක තමයි.

ගෙවල් වෙනම දුන්නා. ලොන්ඩරි මඩුවයි කිලුටු කාමරෙයි වෙනම දුන්නා. කිළුටු දාන එකයි අයනින් එකයි එක ලඟ දුන්නේ.

මේකෙ ගොඩක්ම ඉස්සර ඉඳන්ම හිටියේ ඉන්දියන් අය තමයි. ඒ හිටපු ගොඩක් අයව කල්ලතෝනි කියලා පස්සේ එලෙව්වා. පාස්පෝට් අරාවා මේව්වා නැහැ කියලා මෙහේ හිටපු අයව අල්ලාගෙන ගිහිල්ලා  ඉන්දියාවට පැටෙව්වා. මොකද ගොඩක් අය ඒ කාලේ ඇවිල්ලා තිබුණේ බෝට්ටු වලින් ලංකාවට.

“කල්ලතෝනි“ කියන්නේ දෙමළ වචනයක්

ඉස්සර ඉන්දියාවේ ඉන්න ගොඩක් මිනිස්සු ලංකාවට එන්න හරි ආසයි. එහි රස්සාවල් නැහැ. කන්න නැහැ. කුල ප්‍රශ්න නිසා මිනිස්සු හරියට දුක් විඳිනවා. ඒ වුණාට ලංකාව එහෙම නැහැ.නි දහසේ ඉන්න පුළුවන්. අහල පහළ මිනිස්සු කරදර හිරිහැර කරන්නේ නැහැ. රා අරක්කු වගේ බොන ඒවා ඕනැ තරම් තියනවා. ඕනැ කෙනෙක්ට පිච්චර් බලන්න පුළුවන්. හොඳට ජොලියෙ ඉන්න පුළුවන්. ඒ නිසා හුඟක් අය හොර බෝට්ටුවලින් ලංකාවට එනවා.

මලයාලම්කොච්චි මිනිස්සුත් ගොඩක් මෙහෙ හිටියා. ඒගොල්ලො ඇවිල්ලා මෙහෙ බැඳලා ගොඩක් ළමයි හදලා දැනුත් සමහරු ඉන්නවා. අර කුට්ටි මේ කුට්ටි කියලා තමයි ඒගොල්ලන්ට නම් තිබුණේ. බබාපුල්ලේවත්තේ ගොඩක්ම හිටියේ ඒ කොච්චි අය තමයි. ඒ දෙගොල්ලන්ගේම වචන හරි එක වගේ. ඒ නිසා ඒගොල්ලෝ ඉක්මනට සෙට් වුණා.

අපේ තාත්තට මේකේ හම්බවෙච්ච ගෙයි නොම්බරේ අංක හතර. මම ඉපදුනේ නොම්බර හතලිස් පහ ගෙදර. අපේ පවුලෙ දරුවෝ ඔක්කොම අට දෙනෙක් හිටියා. දැන් ගොඩක් අය අන්ත්‍රා වෙලා.

ඉස්සර මේකට නගර සභාවෙන් පයිප්ප වතුර දුන්නා. ඉස්සෙල්ලා ඒ වතුර නිකන් දුන්නේ. ඊට පස්සේ මීටර් දැම්මට පස්සේ අපිට එය මීටරයට වතුර අරන් මේ රෙදි හෝදලා ජීවත් වෙන්න බැහැ. ඊට පස්සේ අපි නළ ළිඳක් ගහලා මේ වතුර ගන්නේ දැන්. මුල්ම කාලේ මුළු මාසෙටම රුපියල් පහක් තමයි වතුර බිලට අපි ගෙව්වේ. ගෙවල් කුලිය අදත් ගන්නෙ රුපියල් අටයි විසි පහයි. ඒ වුණාට දැන් ඒක රුපියල් පන්සියයක් කරලා කියලා අපිට ආරංචියි. කාමර දෙකට එකොළහයි විසි පහයි. ඒක තවම ඒ ගානමයි. ඊයේ පෙරේදා මං නගර සභාවට ගිහිල්ලා ඒ සල්ලි අවුරුද්දකටම බැඳලා ආවා.

ඉස්සර අපේ තාත්තලා රෑ දෙකට තුනට ඇහැරිලා වැඩ පටන් ගන්නවා. මුල්ම කාලේ ගෑස් ලාම්පු ගහලා තිබුණා. පස්සේ ලයිට් දුන්නා. ඒ වගේ ලොකු ලයිට් කණු පහක් හයක් තිබුණා මේ වත්තේ.

ඒ කාලේ අපි රෙදි හෝදන්න ගත්තේ රෙදි සෝඩා සහ සබන්. ඒ දෙකම කලවම් කරලා වතුර දාලා රෙදි අඹරලා අරගෙන තමයි අපි වෙල්ලාවෙ තියන්නේ. වෙල්ලාවෙ තියෙනවා කියන්නේ රෙදි ඔක්කොම ඉඳිආප්ප තට්ටුවේ වගේ මුට්ටිය උඩින් තියලා මුට්ටියට  වතුර පුරවලා ගින්දර දාලා තම්බනවා. ඒ වාෂ්පෙන් තමයි රෙදි තැම්බෙන්නේ. ගින්දර දාන්න ගන්නේ දර තමයි.

හරියට ඉදිඅප්ප තම්බනවා වගේ. ඊට පස්සේ පාන්දර ඇවිල්ලා රෙදි හෝදනවා. ඊට පස්සේ වේලෙන්න දාලා ආයිත් දෙපාරක් වතුර දාලා හෝදලා අරන් තමයි අන්තිමට වේලෙන්න දාන්නේ. එහෙම කළේ නැත්නම් හොඳට සුදු පාටට එන්නේ නැහැ. ඒ කාලේ හරි අමාරුයි මහන්සියි රෙදි හෝදන එක.දැන් බෙහෙත් එක දාලා අඹරලා ගත්තහම රෙදි සුදු වෙනවා. දැන් ලේසියි. ඒ කාලේ පොල්කටු අඟුරු මුට්ටයක් රුපියල් පහයි. හොණ්ඩරයක් ගන්නවා නම් දෙකයි විසිපහයි. දෙකයි පනහයි. ඒ කාලේ දරමඩු තිබුණේ සුලේමන් එක ළඟ. දර හොංඩර කාලක් ගන්නේ  දෙකයි විසිපහයි. පොල් කටු දාන්නෙ නැහැ. රබර් දර තමයි ගන්නේ.

ඉස්සර සමහරු රෙදි මෙතනටම ගෙනල්ලා දුන්නා. තව සමහරු ලොකු බංගලාවලට ගිහිල්ලා ඒ රෙදි ගෙනල්ලා අපිට දීලා හෝදලා  ගිහිල්ලා දෙනවා. අපිත් අපිට පුරුදු වෙච්චා බංගලාවලින් හෝටල්වලින් රෙදි පොට්ටනි අරගෙන ඇවිල්ලා හෝදලා මැදලා ගිහිල්ලා දෙනවා.දැනුත් හෝටල්වල රෙදි ගොඩක් දෙන්නේ අපිට තමයි.මොකද අපි හෝදන ඒවා සුපර්ක්ලීන්. ගෙවල්වල කිලුටු රෙදි ගේන්න අපි යන්නේ ඉරිදට තමයි. මමත් ඉස්සර තාත්තත් එක්ක යනවා ඒ රෙදි ගේන්න. මට තාම මතකයි මම ගිය ඒ ගෙයක්, Old Moor රෝඩ් එකේ හිටියා සංකර පිල්ලේ කියලා. එහා පැත්තේ තමයි තිබුණේ බණ්ඩාරනායක මහත්තයාගේ වලව්ව. ඒක තමයි දැන් ෆූට් සිටි ගහලා තියෙන්නේ.

upul janaka jayasinghe

| උපුල් ජනක ජයසිංහ

(පින්තූර : අන්තර් ජාලයෙන්)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image