දැනුවත්වෙමු - ස්ථුලතාවයෙන් මිදෙමු- නීරෝගී වෙමු

දැනුවත්වෙමු - ස්ථුලතාවයෙන් මිදෙමු- නීරෝගී වෙමු

ගෝලීය ස්ථුලතාවය වැලැක්වීමේ දිනය අදයි

ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් බර වැඩි තත්වයෙන් පෙලෙති.ඉන් මිලියන 650 දෙනා තරබාරු අයයි.ශ්‍රී ලංකාවේ වසර 2015 දත්ත හා සැසදීමේදී බර වැඩි සහ තරබාරු පුරුෂයින්ගේ සංඛ්‍යාව 2021 වන විට 30%  ලෙස වැඩිවී තිබේ.කාන්තාවන් 48% ක් බර වැඩි හා තරබාරු තත්වයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ දරුවන් අතරින් 10% ක් බර වැඩි සහ තරබාරු තත්වයේ පසුවෙති.ශ්‍රී ලංකාවේ ගැබිණි මව්වරුන්ගෙන් 10% ක් දියවැඩියාවෙන් පෙලෙති. තරුණ ගැගැණු දරුවන්ට  විවාහවීමෙන් පසු ඌන සාඵල්‍යතාව හෙවත් දරුවන් නොමැතිවීමට තරබාරු බව හේතුවක් වී තිබේ. මේ තරබාරුව සමග ප්‍රජනක පද්ධතියේ වෙනස්කම් සිදුවීම ඊට හේතුවයි.

මෙම තත්වයන් නිසා හෘද  රෝග අධි රුධිර පීඩනයා,අඝාතය.දියවැඩියාව, ඇතැම් පිළිකා සහ කාලික පෙනහළු රෝග වලට මෙම පිරිස් ගොදුරුවීමේ අවදානම ඉහල ගොස් තිබෙන බවද සෞඛ්‍ය  අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය පවසයි.

මෙම තත්වයන් වලක්වා ගැනීම, කල් තබා හඳුනා ගැනීම මෙන්ම ප්‍රතිකාර අවශ්‍ය අයට ලබාදීමට රටපුරා සුවදිවි මධ්‍යස්ථාන 1000 කට වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි. ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන , ප්‍රාදේශිය රෝහල් සහ දිස්ත්‍රික් රෝහල්  ආශ්‍රිතව ක්‍රියාත්මකය.

අවුරුදු 35ට වැඩි සියලුම පුද්ගලයින් අනිවාර්යයෙන් මෙම සේවා ලබාගැනීම කල යුතුය. පවුලේ අයට දියවැඩියාව, අධි රුධිටර පීඩනය, පිළිකා රෝග, වකුගඩු රෝග තිබුනේ නම් අවුරුදු 20 – 34 අතර වයසේ අයත් එම රෝග වලට අවදානමක් තිබෙන නිසා සුවදිවි මධ්‍යස්ථාන වෙත යොමුවී අවදානම කලින් හඳුනා ගැනීම කල යුතුය. රුධිර පීඩනය මැනීම, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂාව, කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂාව,උසට සරිලන බරක් තිබේද යන්න සොයා බැලීම,ඇසේ පෙනීම පරීක්ෂා කිරීම සහ අවශ්‍ය සෞඛ්‍ය දැනුම ලබාදීමද  සිදු කරයි. මෙම සියලු සේවා නොමිලේ ලබාදෙයි. නමුත් කාන්තාවන් මේ සේවා ලබා ගැනීමට උනන්දු වුවත් පුරුෂයින් මෙම සේවා ලබා ගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබේ.