ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්නා තුරු අරගලය අත් නොහරිමු !

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්නා තුරු අරගලය අත් නොහරිමු !

මේ වන විට ලංකාව තුළ ඇති සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදය එහි උච්ච ස්ථානයකට ළඟා වී ඇත. ආහාර මිල ඉහළ යාමත් විදුලිය නැති වීමත් අනෙකුත් අපහසුකම් තෙල් මිල ආදි සියල්ල මිනිසුන්ට දරාගත නොහැකි තත්වයකට පත් වීම නිසාම ජනයා කැරලි ගසන තත්ත්වයට පත්ව ඇත.

ගෝඨාභය රාජපක්ෂ බලයට එන විට රටෙහි සෞභාග්‍ය උදාකරන බවත්, සියලු දෙනාට ආරක්ෂිතව ජීවත් වීමට අවස්ථාව සලසන බවටත් පැරණි වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙන එන බවටත් ඔහු බලයට පැමිණි පසු ඉටුකරන බවට පොරොන්දු වූ නමුත් බලය ලබා ගැනීමෙන් පසු සිදුවන්නේ එහි අනෙක් පැත්තය.

ගෝටාගේ ඇත්ත වැඩ සටහන

එනම් ගෝඨාභයගේ සැබෑ වැඩ සටහන දියත් කිරීමයි. ඔහුට සහ ඔහුගේ සහචරයනට එරෙහිව තිබූ නඩු ඉවත්කර ගැනීම සහ ඔහුගේ ගජමිතුරු කල්ලියට බඩ වඩාගැනීමට මාර්ග සදාදීම බවත් පැහැදිලිය.

ඔවුන්ගේ සැබෑ වැඩසටහන වන්නේ 2015ට ඉහත කාලයේ දී ඔවුන් විසින්, ඔවුන්ගේ සහචරයන් විසින්, පවුල් ඒකකය විසින් කර තිබූ අපරාධ සහ රාජ්‍ය දේපල වංච යනාදිය සඳහා නීතිය ඉදිරියෙහි පවරා තිබු නඩු ඉවත්කර ගැනීමයි.

දෙවැන්න වූයේ ඔවුන්ගේ දූෂිත අත්තනෝමතික පාලනයේදී විවිධ අපරාධ වලට චෝදනාවට ලක්වූවන් සහ මිනීමැරුම් නඩු වලට දඬුවම් ලබා සිටි ඔහුගේ සහචරයින් නිදහස් කර රාජ්‍ය දේපල වල කොටස්කරුවන් බවට ඔවුන් නැවතත් පත් කිරීමයි.

මෙම කාරණාවන් ඔවුන් කරගෙන යමින් පවතින්නේ ලැජ්ජා විරහිත ආකාරයටයි. මෙතෙක් රටේ අර්බුද මතුවී තියෙද්දිත් චොකා මල්ලිගේ මරණ දඬුවමෙන් ඔහුව නිදහස් වීමෙන් පෙනෙන්නේ අර්බුද කොතරම් තිබුණත් ඔවුන්ගේ වැඩසටහන නොවැරදීම ඔවුන් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

දුෂ්ඨ වැඩසටහන් ක්‍රියාත්මකයි

එනිසා යම් කිසිවකු සිතන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ය කියා ඔවුන් තම මූලික සිතුවිලෙන්ම වැරදි තැනක සිටි. ඔවුන් පැමිණියේ ඔවුන්ගේ දුෂ්ඨ වැඩසටහන් ක්‍රියාත්මක කර ගැනීමටයි. එම වැඩසටහන් මේ වන විට ඉතා හොඳින් ක්‍රියාත්මක කරමින් පවතී.

හමුදාව සහ හමුදා නිලධාරින් යොදා සියල්ල කල හැකියයි සිතන ගෝඨාභය කණ්ඩායමට නොතේරුන කාරණය වන්නේ පීඩනයෙන් එක්තරා ප්‍රමාණයකට හිර වූ ජනතාව යම් කිසි අවස්ථාවක එහි සීමාවන් පැන්න විට අත්‍යන්තයෙන්ම නැගිට සටන් කරන තත්ත්වයකට පත් වන බවයි. අද එය සිදුවී ඇත්තේ ගෝඨාභයට රට පාලනය කරගත නොහැකි තත්ත්වයකට රට පත් කරමිනි.

ගෝටා ගෝ හෝම් – මෙතැනින් කොතැනටද?

නමුත් මෙම සටන් පාඨ තුලම මතුවන ඊළඟ කාරණය වන්නේ ගෝඨා ගෙදර යවා පත් කරගන්න එකා මොකාද යන්න අප කාටවත් අවබෝධයක් තිබේද යන්නයි. මෙම අර්බුදයට සැබෑ හේතු සැදෙන්නේ අත්තනෝමතික ආධිපත්‍යයක් සහිත විධායක ජනාධිපති ක්‍රමයක් රට තුළ පැවතීම බව දවසින් දවසම සාක්ෂි ඇතුවම පැහැදිලි වෙයි. එනිසා අපේ සටන් පාඨ වලට ගෝඨා ගෝ හෝම් කීවාට පමණක් ප්‍රමාණවත් නොවන බව අප වටහා ගත යුතුය.

නැතිනම් කැරලිකරුවන්ගේ ඉවසීමේ සීමාවන් පැන්න විට ඇතිවිය හැකි කලහකාරී තත්ත්වයක් ඇතිවේය යන අපේක්ෂාවෙන්, නැතිනම් මෙම උද්ඝෝෂකයින් අතරට රිංගවන රජයේ මැර කණ්ඩායම් විසින් ඇති කරන කලහකාරී තත්ත්වයන් තුළ රාජ්‍ය මර්දනයක් මගින්මෙ ම නැගිටීම යටපත් කිරීමටද යන්න අපට සැළකිල්ලට ගත යුතුය.

අද වීදී බැස සිටින තරුණ තරුණියන්ගේ සහ අරගලය ජයග්‍රහණය කරා ගෙන යාමට කැපවී සිටින සියලු දෙනාගේ අවධානය පිනිස මම පහත සදහන් අදහස් ඉදිරිපත් කරමි.

රටේ ප්‍රශ්න එක්තරා ප්‍රමාණයකට හෝ විසඳීමට නම් රට තුළ පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ මිනිස් අයිතීන් තහවුරු කළ යුතුය.

නීතියේ ආධිපත්‍ය රට තුළ ඇති කිරීම නීතිය මත පාලනයක් රට තුල ඇති කිරීම. නීතිය ඉදිරියෙහි ජනාධිපති ගේ සිට පහළම දරුවකු දක්වා සියල්ලන්ගේම අයිතීන් එක හා සමාන විය යුතුය.

රටෙහි දීර්ඝ කාලයක් පවතින ජනවාර්ගික ප්‍රශ්නයට බලය බෙදා හරින සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විසඳුමක් වෙතට අවධානය යොමු කළ යුතුය.

වතු කම්කරුවන්ගේ ජීවන තත්වය පවතින්නේ රටෙහි අනෙකුත් පුරවැසියන්ගේ ජීවන තත්වයට වඩා පහත බව අප දනිමු. එසේ නම් ඔවුන්ගේ පඩි පත වැඩි කිරීම සහ ඔවුන්ව ඉඩම් වහලුන් බවට පත් කර ඇති නීතීන් වෙනස් කිරීමද මෙම වැඩසටහනේම කොටසක් විය යුතුය.

රටෙහි සියයට පනස් දෙකක් වන ස්ත්‍රීන්ගේ අයිතීන් තහවුරු කිරීම පිළිබඳව ඒ වාගේම සුළුතර කණ්ඩායමක් වන ලිංගික අයිතීන් (LGTB) වෙනුවෙන් පෙනී සිටින අයගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

දැනට දැනෙමින් තිබෙන ආර්ථික ප්‍රශ්නවලට කෙටි කාලීන විසඳුම් සහ දිගු කාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතුය. එහිදී ජාත්‍යන්තර ආයතන වල සහ ජාත්‍යන්තර රාජ්‍යයන්හි සහයෝගය ලබා ගැනීම සඳහා මිතුරු ආකාරයක විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද අවශ්‍යය.

මෙවැනි කාරණා පිළිබඳව අවධානය සහ ඒවා සාකච්ජා කිරීම අත්‍යනහ්‍ය වන්නේ පවතින පාලක කල්ලිය පමණක් මාරු කළ පමණින් මේ ප්‍රශ්න නොවිසඳෙන බව අප දන්නා නිසාය. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිමය වෙනසක් ඇති වන තුරු රටෙහි තත්ත්වයන් තව තවත් අගාධයට ඇදෙන බවත් කවුරු බලයට ආවත් සිදුවන්නේ එය බව පැහැදිලිය.

අප නිකමට සිතමු මේ පවතින ඒකාධිපති ජනාධිපති ක්‍රමය සමග පවතින දූෂිත කොටස්වල ම සහභාගිත්වයෙන්, විවිධ දූෂණයන්ට සහ හොරකම් වලට සම්බන්ධ දේශපාලනඥයින්ගෙන් ම කොටසක් සමග අන්තර්වාර පාලනයකට යනවා යයි කියා. එසේ ගිය පමණින් මොනයම්ම හෝ ප්‍රශ්නයක් විසදිය හැකිද?

යම්කිසි ආකාරයකින් මතුවන රජයක් පළමුවෙන්ම කලයුතු වන්නේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමයි. ඒසඳහා ‍ ප්‍රථමයෙන්ම නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම, භාෂණයේ නිදහස , ජනවාර්ගික අර්බුදය විසඳීමට වැඩපිළිවෙළක්, ජාත්‍යන්තරය සමග සහයෝගයකින් වැඩ කිරීම ආදී නොයෙක් කාරණාවන් මෙම බලයට එන අය කිරීමට එකඟ විය යුතුය.

ඒවාගේම මේ සියලු ප්‍රශ්නවලට මේ අර්බුද වලට මූලික හේතුව වී තිබෙන මෙම ඒකාධිපති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඊළඟට ඇතිවන රජය විසින් පොරොන්දු විය යුතුයි.

විදුලිය, තෙල් සහ අහාර හිඟයට විසඳුම් පමණක් සෙවීම තුළින් මෙම ප්‍රශ්න කිසියම් ආකාරයකින් නොවිසඳෙන බව පැහැදිලිය.මෙම හිඟයන් ඇතිවීමට හේතු කාරණා වන මූලික දේශපාලන සහ ප්‍රතිපත්තිමය මෙන්ම ආයතන වැරදි නිවැරදි වෙන ආකාරයක දේශපාලනයක් ක්‍රියාත්මක කිරීම තුළින් පමණි අද මෙම පවතින අර්බුදය සමනය කර ගැනීම හා දිගු කාලීනව එය විසඳා ගැනීමට හැකි තත්ත්වයකට ගමන් කළ හැක්කේ.

ආණ්ඩුව ඉල්ලා අස්වී භාරකාර ආණ්ඩුවකට රට බාර දෙනු යන යෝජනාවද අප සැළකිල්ලෙන් සාකච්ජා කළ යුතුය.

මාර්තු මස 31 වැනි දින මිරිහාන ජනාධිපති නිවස වට කරමින් ආරම්භ වූ ජනතා කැරැල්ල මේ වන විට රට පුරා පැතිර ගොස් ඇති අතර එය විවිධ තරාතිරමේ කණ්ඩායම්වලින් විශේෂයෙන්ම තරුණ ජනයාගෙන් ආරම්භව අද වන විට නීතිඥයන් කලාකරුවන් වෘත්තීයවේදීන් හා දේශපාලන ක්‍රියාධරයා එහි කොටස්කරුවන් වී ඇත. අවසාන විග්‍රහයේ දී අද වන විට රටේ සියලුම පාහේ ජනයා මෙම අරගලයේ කෙලින්ම හෝ වක්‍රව කොටස්කරුවන් වී හමාරය.

නමුත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා මෙවන් අර්බුදයක් රටේ මතු වී තිබෙද්දීත් ජනතාව ඇමතීමක් කිරීමට පවා නිහතමානි බවක් නැති මහන්තත්වය කින් හිස උදුම්මාගත් ලෙස හැසිරෙන බව පෙනේ. ඔවුන්ගේ ඒ නිහඬ භාවය තුලින්, මෙම තත්ත්වය කල් මැරීමට ඉඩ හැරීම තුළින්, ඔවුන් බලාපොරොත්තු වන්නේ මෙම අරගලකරුවන් විඩාපත් වී අරගල නවතිනු ඇත කියා ද?

රාජපක්ෂ අපේක්ෂාව ප්‍රචණ්ඩත්වයද?

නැතිනම් කැරලිකරුවන්ගේ ඉවසීමේ සීමාවන් පැන්න විට ඇතිවිය හැකි කලහකාරී තත්ත්වයක් ඇතිවේය යන අපේක්ෂාවෙන්, නැතිනම් මෙම උද්ඝෝෂකයින් අතරට රිංගවන රජයේ මැර කණ්ඩායම් විසින් ඇති කරන කලහකාරී තත්ත්වයන් තුළ රාජ්‍ය මර්දනයක් මගින්මෙ ම නැගිටීම යටපත් කිරීමටද යන්න අපට සැළකිල්ලට ගත යුතුය.

මොනයම්ම තත්වයක් තුළ හෝ හිංසාකාරී තත්ත්වයකට කලහාකාරී තත්ත්වයකට මෙම අරගලය යොමුවීම නොවිය යුතුය. ලංකා සමාජයේ ඉතිහාසය පසුගිය වසර 30ක පමණ කාලයක් තුළ ඕනෑවටත් වඩා හිංසාව සහ මිනිස් ඝාතනයන් වලින් පිරුණු එකක් බව අප දනිමු. ඒවායේ ප්‍රතිඵලය වශයෙන් අන්දමන්ද වූ සමාජයක් පසුගිය කාලයේ ඇති විය. බෙහෝ දෙනෙකු හට හැර ගියේය.

යළිත් වතාවක් හිංසාවන් සහ කලහ කාරී තත්වයකට යාම වළක්වා ගැනීම අරගලකරුවන් සහ අරගලකාරියන් වන අප පරෙස්සම් විය යුතුය. යමෙකු ආවේගශීලීව හැසිරෙයි නම් එතන සිටින අනෙකුත් උද්ඝෝෂකයින් ඔහුව සමනය කිරීමට උත්සාහ කළ යුතුය. කිසිම ආකාරයකින් හිංසාව ජය ගැනීමට ඉඩ නොදීමට උද්ඝෝෂණකරුවන් වගබලා ගත යුතුය. එය උද්ඝෝෂණයේ යෙදී සිටින අප සැමගේ යුතුකමකි.

භාරකාර ආණ්ඩුවකින් පසු

ඒ වාගේම “ගෝඨා ගෝ හෝම්” යන සටන් පාඨය සමග තවත් සටන් පාඨ විශේෂයෙන්ම මෙම තත්ත්වය රට තුළ උද්ගත වීමට කාලයක් තිස්සේ තුඩු දුන් හේතු කාරණාවන් මුල්කරගත් ප්‍රශ්න අරභයා ඒවා සමනය කර ගැනීමට ඒවා විසඳා ගැනීමට අවශ්‍ය සටන් පාඨ ද මෙම අරගලයට එකතු කිරීම අරගලකරුවන් කළ යුතු දෙයකි. එසේ නැතුව මෙම රජය ගෙදර ගිය පමණින් ප්‍රශ්න විසඳයි කියාසිතීම ම වැරැද්දක් වනු ඇත.

මෙම ඉල්ලීම් වල දී අප ගෝඨාභය ඇතුළු රජයට ඉල්ලා අස්වීමේ වීමට බල කළ යුතු අතර තාවකාලික භාරකාර ආණ්ඩුවක් පත්කරගැනීමේ කාරණය ගැන අවධානය යොමු කළ යුතුය. එසේ පත් කර ගන්නා තාවකාලික ආණ්ඩුවකින් රටෙහි දැනට උද්ගතව ඇති මූලික ප්‍රශ්න වලට යම් යම් විසඳුම් සොයන අතරම රටට මහත් ව්‍යසනයක්ව ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ කාරණය දක්වා ගමන් කළ යුතුය.

උද්ඝෝෂණ පිරිස් මෙම කාරණා සටන්පාඨ ලෙස ඉදිරිපත් කිරීම වැදගත්ය. එසේ නැතිනම් සිදුවිය හැක්කේ ඉන්ධන මිල පහළ ගිය විට සහල් මිල ආහාර මිල යම් පමණකට දරාගත හැකි මට්ටමකට පැමිණි විට අප නිහඬ වෙමින් නැවතත් අර සුපුරුදු කල් බැලීම වෙතට ගමන් කිරීමකි. එනිසාවෙන් වහාම අප මෙම අරගලය මැද ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා දේශපාලන සටන් පාඨ ඉදිරිපත් කළ යුතුය.

එමෙන්ම මෙම සටන මේ වන විට සිදුවෙමින් පවතින්නේ සමාජ මාධ්‍ය ජාලා තුළින් කරගෙන යන ප්‍රචාරණයන් තුළින් වන අතර මේවා තුළින්ම යම්කිසි සම්බන්ධීකරණයක් ඇති කරගෙන විවිධ සමාජ ක්‍රියාධරයන් වෘත්තීය සමිති සිවිල් සමාජ සංවිධාන සහ සක්‍රීය පුරවැසියන් අතර සන්ධානයක් ජාලයක් ගොඩනගා ගැනීම වැදගත්ය.

එහි කොටස්කරුවන් ලෙස මෙම අරගලයේ සටන්කරුවන් ලෙස පවතින තරුණ සංවිධාන වල කොටස් ද එක්කර ගත යුතු අතර මෙම රජය පලවා හැරීම සහ ඊළඟ රජය පත්කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ මෙම සන්ධානයක මෙම එකතුවක සාකච්ඡාවට ගෙන සකස් කර ගැනීම වැදගත්ය.

මෙයට පනස් එක් වසරකට පෙර බක්මහකදී අප ගැයූ ගීයක දෙපදයක් මේ බක්මහේ අරගලකරුවන් සහ අරගලකාරියන් සමග බෙදාගමි.

“ඉටුවන තුරු පැතුමන් – යළි යළි වදිමු සටන්!

රංජිත් හේනායකආරච්චි