නේපාල රජය පනවා ඇති සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවලදී, විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුමකදී අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තවත් සැලකිය යුතු ගණනක් තුවාල ලබා තිබේ.
ෆේස්බුක්, එක්ස් සහ යූ ටියුබ් ඇතුළු වේදිකා තහනම් කිරීමේ තීරණයට එරෙහිව Z පරම්පරාව ලෙස හඳුන්වා ගන්නා විරෝධතාකරුවන් කළ ඉල්ලීමක් අනුව දහස් ගණනක් ජනතාව කත්මණ්ඩුහි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට රැස්වූහ.
නේපාලයේ සන්නිවේදන අමාත්‍ය ප්‍රිත්වි සුබා බීබීසී වෙත පැවසුවේ, එහිදී පොලිසියට බලය යෙදවීමට සිදු වූ බව ය. ඒ සඳහා ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සහ රබර් උණ්ඩ ප්‍රහාර ඇතුළත් විය.
ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කළ යුතු බවට රජය පවසා තිබේ.
නමුත් ඉන්ස්ටග්‍රෑම් වැනි ජනප්‍රිය වේදිකාවල මිලියන ගණනක් නේපාල පරිශීලකයින් සිටින අතර ඔවුහු විනෝදාස්වාදය, ප්‍රවෘත්ති සහ ව්‍යාපාර ආදි කටයුතු සඳහා එය භාවිත කරති.
"ඉවසුවා හොඳට ම ඇති" සහ "දූෂණයට තිත" ඇතුළු සටන් පාඨ සහිත පුවරු රැගෙන විරෝධතාකරුවන් වීදි බැස තිබිණි.
ඇතැමුන් පැවසුවේ, රජයේ ඒකාධිපති ආකල්පය ලෙස ඔවුන් හැඳින්වූ දෙයට එරෙහිව විරෝධතා දක්වන බව ය.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අසල තහනම් ප්‍රදේශයකට ඇතුළු වන අයුරු සහ ඇතැම් විරෝධතාකරුවන් ඒ අසල වූ තාප්පයට නගින අයුරු දක්නට ලැබිණි.
| Z පරම්පරාව ලෙස තමන් හඳුන්වා ගන්නා තරුණ විරෝධතාකරුවෝ උද්ඝෝෂණය සංවිධානය කළහ
"විරෝධතාකරුවන් තහනම් ප්‍රදේශයට කඩා වැදීමෙන් පසු කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිත කළා," පොලිස් මාධ්‍ය ප්‍රකාශක ශේකර් ඛනාල් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.
කත්මණ්ඩු දිස්ත්‍රික් කාර්යාල ප්‍රකාශකයෙකු පැවසුවේ, විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළු ප්‍රදේශවලට ඇතුළු වීමට උත්සහ කිරීමෙන් පසු ඇඳිරි නීතිය පැනවූ බව ය.
නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලියාපදිංචි වීමට ලබා දුන් කාල සීමා තුළ එය සිදු නොකිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකා 26ක් අවහිර කිරීමට එරට බලධාරීහු පසුගිය සතියේ නියෝග කළහ.
සිකුරාදා සිට, පරිශීලකයින් වේදිකාවලට ප්‍රවේශ වීමේ දුෂ්කරතා අත්විඳ ඇති නමුත් ඇතැම්හු මෙම තහනම මගහරවා ගැනීමට VPN භාවිත කරති. තහනමෙන් පසු, අමාත්‍යංශයේ ලියාපදිංචි වූ වේදිකා දෙකක් මේ දක්වා නැවත සක්‍රිය කර ඇත.
නේපාල රජය තර්ක කර ඇත්තේ, තමන් සිදු කරන්නේ සමාජ මාධ්‍ය තහනමක් නොව ඒවා නේපාල නීතියට අනුකූලව ගෙන ඒමට උත්සහ ගැනීමක් බව ය.
| තහනමට එරෙහි අන්තර්ගතයන් තවමත් ක්‍රියාත්මක ටික්ටොක්හි ද වෛරල් වී ඇත
| විරෝධතාකරුවන් කිහිප දෙනෙක් තාප්පය මතින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වූහ
|ඒමි වෝකර් සහ ෆනීන්ද්‍ර දහල්
bbc/sinhala