ලිබියාවේ බෝට්ටු අනතුරකින් 15 දෙනෙකු මරුට

ලිබියාවේ බෝට්ටු අනතුරකින් 15 දෙනෙකු මරුට

ලිබියාවේ බටහිර වෙරළට ඔබෙන්වූ මුහුදු කලාපයේ සරණාගතයින් පිරිසක් රැගත් බෝට්ටුවක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

එම අනතුරින් සරණාගතයින් 15 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.  ලිබියාවේ රතු අඩ සඳ සංවිධානය පවසන්නේ මිය ගිය සරණාගතයින්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා ඇති බවයි. ලිබියානු සහන සේවකයින් විසින් අනතුරට ලක් වූ මුහුදු ප්‍රදේශයේ අයිති “සාබ්‍රාතා” වෙරළ තීරයෙන් මළ සිරුරු 15 සොයා ගැණුනා. එම සිරුරුවලින් බොහොමයක් පිළිස්සිමට ලක්ව තිබෙනවා.

ලිබියාවේ රතු අඩ සඳ ප්‍රකාශක “තව්ෆික් අල් ෂුක්රී” පැවසුවේ මෙම සරණාගත බෝට්ටුව ගිනි ගැනීමෙන් පසු වෙරළට ගසාගෙන ආ මළ සිරුරු පිළිබඳ තොරතුරු පළාත් පළාන ආයතන වලට දැනුම් දී තිබෙන බවයි. මෙම සරණාගතයින්ගේ මරණවලට හේතුව තවමත් පැහැදිලි වී නැහැ. පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුරු ප්‍රාදේශීය රෝහල් වෙත රැගෙන ගොස් ඇතැයි, බලධාරින් පවසනවා. යුරෝපීය වෙරළට ළගා වීම අරමුණු කරගනිමින් මෙම සරණාගතයින් ලිබියාවේ සිට මධ්‍ය ධරණී මුහුද තරණය කිරිමට උත්සහ කරන බවයි ලිබියානු ආරක්ෂක අංශ පවසන්නේ.