සුඩානයේ 20,000ක් කුසගින්නේ

සුඩානයේ 20,000ක් කුසගින්නේ

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මගින් සුඩානයට ආහාර සහනාධාර කප්පාදු කිරීම හේතුවෙන් එරට මිලියනයකට අධික පිරිසක් අනාරක්ෂිත තත්ත්වයකට මුහුණපා ඇතිබව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කුසගින්න හේතුවෙන් දකුණු සුඩානයේ දරුවන් දෙදෙනෙකු සහ වැඩිහිටියෙකු මියගොස් අති බව, එරට සහන සේවකයින් "BBC" මාධ්‍ය ජාලයට වාර්තා කර තිබෙනවා. එම මරණ සිදුව ඇත්තේ, අවතැන් කඳවුරකදී. සහන සේවකයින් පවසන්නේ අවතැන් කඳවුරුවල වෙසෙන 20,000කට වැඩි පිරිසක් සාගින්නෙන් පෙලීමේ අවදානමකට ලක්ව සිටින බවයි.

තම සංවිධානයට අරමුදල් නොමැති වීම හේතුවෙන් සුඩානයේ ඇතැම් ප්‍රදේශවල සලාක ක්‍රමයට ක්‍රියාත්මක සහනාධාර වැඩසටහන් අත්හිටුවා ඇති බව, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා.

එම සංවිධානය ඉකුත් මස සඳහන් කළේ, සුඩානයට ආහාර බෙදාහැරීම අඛණ්ඩව කර ගෙන යාමට ඩොලර් මිලියන 426ක් අවශ්‍ය බවයි.

මේ වන විට රුසියා - යුක්‍රේන යුද ගැටුම් කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව වැඩි අවධානයක් යොමුකර ඇති බැවින් අඩු ආදායම් රටවලට අවශ්‍ය මානුෂීය ආධාර පිළිබඳ අවධානය යොමු නොකිරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි සහනාධාරවල කප්පාදුවක් සිදු වී ඇති බව, ආර්ථික විශේෂඥයින් පවසනවා.

ලෝක ආහාර වැඩසටහනේ නිලධාරියෙකු "BBC" මාධ්‍ය ජාලයට පවසා ඇත්තේ, අරමුදල් අඩුවීම නිසා සුඩානයේ මිලියන 1.7 ක පිරිසකට එම සංවිධානය ලබා දෙන ආහාර සහනාධාර අත්හිටුවා ඇති බවයි. කෙසේ වුවද, සුඩානයේ මිලියන 4.5කට අඛණ්ඩව සහනාධාර ලබාදෙන බව එම සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.