සෞදිය වෙත පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවයි

සෞදිය වෙත පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවයි

සෞදි අරාබිය විසින් එරටට පැමිණෙන සියලුම ජාත්‍යන්තර ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එම තීරණයට අනුව සතියක කාලයක් මෙම තහනම පැනවෙන බවයි සඳහන් වෙන්නේ.
 
සෞදියට පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතිමුත් සෞදි අරාබියෙන් වෙනත් ගමනාන්ත වෙත ගමන් ගන්නා ගුවන් ගමන් වාර තවදුරටත් ක්‍රියාත්මක වෙන බව විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙයි.
 
එමෙන්ම, යුරෝපයෙන් හෝ නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය වාර්තා වන රටකින් පැමිණි සියලු සංචාරකයන් දින 14ක නිරෝධායනයකට යටත් වන බවත් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු විය යුතු බවත් සෞදි බලධාරීන් නිවේදනය කර ඇත.

තවද,නව ප්‍රභේදය වාර්තා නොවන රටවලින් පැමිණෙන යාත්‍රා සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට රටට පැමිණිය හැකි බවත් මේ වනවිට රටට පැමිණ ඇති ජාත්‍යන්තර ගුවන් යානාවලට රටින් පිටවීමට හැකියාව තිබෙන බවත් සෞදි බලධාරීන් සිහිපත් කරයි.
 
කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞදියේ ජීවත්වෙන සියළුම දෙනාගේ මෙන්ම සෞදියේ සේවය කරන විදේශිකයින්ගේද ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය  වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.