කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය නිසා බ්‍රිතාන්‍යයේ තත්ත්වය දරුණු වෙයි

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය නිසා බ්‍රිතාන්‍යයේ තත්ත්වය දරුණු වෙයි
බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේ දී බ්‍රිතාන්‍යයේ තත්ත්වය දරුණු වනු ඇති බවට ලන්ඩනයේ නවතම අධ්‍යයන වාර්තාවකින් තහවුරු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
 
මෙම කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මාස දෙකකට වඩා අඩු කාලයක් තුළදී ලොව පුරා රටවල් 32කට අධික ප්‍රමාණයකින් හඳුනා ගැනීමත් සමඟ වෛරසයේ ව්‍යාප්තවීම සීඝ්‍ර ලෙස සිදුවෙන බවට හොඳම නිදර්ශනයක් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
 
මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාව වැඩි අවධානයකින් පසුවිය යුතු බව යි විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දී ඇත්තේ.
 

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයන් මෙම නව ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය සිදු කර තිබෙන අතර වසංගතයක දරුණුභාවය නිර්ණය කිරීමට යොදා ගැනෙන දර්ශකයක් වන R අගය සහ තවත් නිර්ණායක ඇසුරින් එය කර තිබේ.

යම් රෝගයක් සමාජය තුළ පැතිර යා හැකි වේගය විද්‍යාත්මකව නිර්ණය කෙරෙන අංකය R අගය, නැතහොත් The reproduction number ලෙස හැඳින්වෙන අතර R අගයෙන් අර්ථ ගැන්වෙන්නේ එක් ආසාදිතයකු නිසා ආසාදනය වන සාමාන්‍ය පුද්ගලයන් සංඛ්‍යාව බව වාර්තා වෙයි.

එය 1 ට වඩා වැඩි නම් වසංගතයේ දරුණු වර්ධනයක් පෙන්නුම් කරන අතර මෙම නව වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට එක්සත් රාජධානියේ R අගය 1.1 ත් 1.3 ත් අතර පවතින බවය. නව ප්‍රභේදයේ R අගය පෙර වයිරසයට වඩා 0.4 ත් 0.7 ත් අතර ප්‍රමාණයකින් වැඩි බවද එම වාර්තාව හෙළි කරයි.

වයස අවුරුදු 20 ට අඩු පිරිස අතර මෙම නව ප්‍රභේදය වැඩිපුර ව්‍යාප්ත වන බව මුල් දත්තවලින් ප්‍රකාශ කෙරුණ ද නව අධ්‍යයනය හෙළි කරන්නේ එය සියලු වයස් කාණ්ඩ අතර වේගයෙන් ව්‍යාප්ත වන බවය. බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් වයිරස නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පළමුව හඳුනා ගැනුණේ පසුගිය නොවැම්බර් 18 වැනිදාය.

බ්‍රිතාන්‍යයේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය 31 වැනිදා වාර්තා වූ අතර එය 55,892කි. නව ප්‍රභේදයේ ව්‍යාප්තිය සමඟ අසාදිතයන් 320,000කට අධික සංඛ්‍යාවක් ගත වූ සතියේ එරටින් වාර්තා විය. මේ තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයට සංචරණ සීමා පැන වූ රටවල් සංඛ්‍යාව 50කට අධිකය.
 

ව්‍යාප්තිය හඳුනා ගැනුණු පසුගිය නොවැම්බර් 18 වැනිදා සිට දෙමසකටත් අඩු කාලයක් තුළදී මෙම නව වයිරසය රටවල් 32කට වැඩි සංඛ්‍යාවක පැතිරී තිබෙන අතර යුරෝපය, මැද පෙරදිග, ආසියානු, ඔස්ට්‍රේලියා ඇතුළු කලාප රැසකටම මේ වන විට නව වයිරස ප්‍රභේදය පැතිරී ගොස් ඇති බව වාර්තා වෙයි.

දැනට කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති අමෙරිකාවෙන් ද මෙම නව වයිරස ප්‍රභේදය හඳුනා ගැනුණු බවට පසුගියදා නිවේදනය කළ අතර ඒ ෆ්ලොරිඩා, කොලරාඩෝ සහ කැලිෆෝනියා යන ප්‍රාන්තවලිනි. මෙම නව වයිරස ප්‍රභේදය පිළිබඳ නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍ය සමඟ පැවති ගුවන් ගමන් යළි දැනුම් දෙන තෙක් අත්හිටුවීමට වහා පියවර ගෙන තිබේ.

එරටින් පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ද තාවකාලිකව නවතා තිබෙන අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වයිරස සම්බන්ධයෙන් මෙරට තුළ වන පරීක්ෂණ ශීඝ්‍රතාව ඉහළ නැංවීමට ද සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.