රුසියා - යුක්රේන යුද්ධයෙන් යුක්‍රේන දරුවන් මිලියන 5ක් අවතැන් වෙයි

රුසියා - යුක්රේන යුද්ධයෙන් යුක්‍රේන දරුවන් මිලියන 5ක් අවතැන් වෙයි

රුසියා - යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා යුක්රේන දරුවන් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. අවතැන් වූ යුක්රේන ජාතිකයන් මිලියන 7.5ක් අතර දරුවන් මිලියන 4.8ක් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තාකර තිබේ.

මේ අතරින් දරුවන් මිලියන 2.8ක ප්‍රමාණයක් යුක්රේනය තුළ අවතැන් වී සිටින බවත්, තවත් මිලියන 2ක් පමණ සරණාගතයන් ලෙස විදේශ රටවල අවතැන්ව සිටින බවත් එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

 එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවට අනුව යුක්රේනය තුළ තවත් දරුවන් මිලියන 3.2ක ප්‍රමාණයක් ප්‍රමාණවත් ආහාර නැතිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. එරට ජලනල පද්ධතිය රුසියා හමුදා ප්‍රහාර මගින් විනාශ වී ඇති බැවින් එරට උග්‍ර පානීය ජල හිඟයක් ද මතුවී ඇතැයි වාර්තා වේ.
 

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා යුක්රේනයේ දරුවන් අවම වශයෙන් 142 දෙනකු ඝාතනයට ලක්වී ඇතැයි ද, තවත් දරුවන් 229 දෙනකු තුවාල ලබා ඇතැයි ද එම වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ ප්‍රමාණය ඉදිරි දිනවලදී තවත් ඉහළ යනු ඇතැයි යුනිසෙෆ් සංවිධානය ද අනතුරු අඟවා තිබේ