සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් අඩකට කොවිඩ්

සිංගප්පූරුවේ සංක්‍රමණික ශ්‍රමිකයන්ගෙන් අඩකට කොවිඩ්

රැකියා සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වී සිටින පිරිසෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් පසුගිය මාස නවය ඇතුළත කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව හෙළිදරව් වීම “පුදුමයට කරුණක් නොවන” බව මානව හිමිකම් සංවිධානයක් පවසයි.

සිංගප්පූරුවේ අලුත්ම වාර්තා සඳහන් කරන්නේ එරට විදේශික සේවකයන් 152,000කට එනම් 47%කට කොවිඩ් 19 වැළඳී ඇති බවය.

ලන්ඩන් නුවර දත්ත වාර්තා සමඟ මෙම ප්‍රතිශතය සසඳා බලන්නේ නම් එය මෙසේය;

වසංගතය ආරම්භ වූ දා පටන් මේ දක්වා ලන්ඩනයේ කෝවිඩ් 19 රෝගයට ගොදුරු වූ පිරිස ගේ ප්‍රතිශතය 11%ට වඩා අඩු බවට ඇස්තමේන්තු කර ඇත.
විදේශික සේවකයන් ගණනය කිරීමකින් තොරව ලබා ගත් වාර්තා සඳහන් කරන්නේ සිංගප්පූරුවේ 4,000කට වඩා අඩු පිරිසකට මෙම රෝගය වැළඳුණු බවය.
සිංගප්පූරුවේ විදේශික සේවකයන් විශාල ප්‍රමාණයක් වාසය කරන වාසස්ථාන පසුගිය අප්‍රේල් මාසයේ පටන් සෙසු ජනතාවගෙන් හුදෙකලා කොට තැබීමට පියවර ගෙන තිබුණි. මෙම වාසස්ථානවල එක් කාමරයක පුද්ගලයන් කීප දෙනෙකුම වසන අතර ඒවාහි පවතින පහසුකම් සඳහා තදබදයක් පවතී.

මෑතක දී සිංගප්පූරුවේ සාමාන්‍ය ජනතාව සහ විදේශික සේවකයන් අතර ආසාදිතයන් වාර්තා වීම ශුන්‍ය වූ අතර සාමාන්‍ය ජනතාවට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

සිංගප්පූරුවේ විශාල නිදන ශාලාවල ජීවත් වන 323,000ක් වූ සමස්ත සංක්‍රමණික සේවක සංඛ්‍යාවෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් වන 152,000කට වෛරසය අසාදනය වී ඇති බව සඳහන් වෙයි

නමුත් දකුණු ආසියාතික රටවලින් පැමිණි – සාමාන්‍යයෙන් අඩු වැටුපක් ලබන මෙම විදේශික සේවකයන්ට පනවා ඇති සීමා එලෙසම පවතී. මෙම සේවකයන්ගෙන් බහුතරය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලාවල රැකියා කරන අතර ඔවුන්ගේ සංචරණයට පනවා ඇති සීමා ලබන වසර වන තෙක් ලිහිල් නොකෙරෙනු ඇත.

“සංක්‍රමණික සේවකයන්ට සිරකරුවන් සේ සැලකීම යුක්තිසහගත නැහැ. මාස අටක් තිස්සේ බොහෝ දෙනෙක් එක තැන හිර කරලා” Transient Workers Count Too නමැති ආධාර සංවිධානයේ ඇලෙක්ස් ආවු බීබීසීයට පැවසීය.

ආසාදිතයන් ප්‍රමාණය ඉහල ගියේ ඇයි?

නව ගණනය කිරීම් සිදු කර ඇත්තේ, වෛරසය ශරීරගත ඇත්දැයි සොයා ගැනීමට සිදු කෙරෙන PCR පරීක්ෂණ වාර්තා සහ කලින් රෝගය වැළඳී තිබුනිදැයි සොයා බැලෙන (serology tests) වෛද්‍ය පරීක්ෂණ වාර්තා ඒකාබද්ධ කර ගනිමිනි.

සංක්‍රමණික සේවකයන් 54,500කට කොරෝනාවෛරසය ශරීරගත වී ඇතැයි PCR පරීක්ෂණවලින් තහවුරු විය. තවත් සේවකයන් 98,000කට මීට පෙර කොවිඩ් 19 වැළඳී තිබී ඇතැයි ද වෛද්‍ය පරීක්ෂණවලින් ඔප්පු වී තිබේ. මෙම වාර්තා දෙකම ඒකාබද්ධ කොට ලබාගත් ප්‍රතිඵලය නිවේදනය කෙරුණේ පසුගිය සඳුදා ය.

සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ පසුගිය අගෝස්තු මාසය වන විට සෑම සංක්‍රමණික සේවකයෙකු ම අවම වශයෙන් එක් වතාවක් හෝ ඉහත කී පරීක්ෂණ දෙකින් එකකට භාජනය වූ බවය.

වෛරසය ශරීරගත වී ඇති බවට සනාථ වූ පුද්ගලයන් සහ වෛරසය ව්‍යාප්තවීමට දායක වී ඇතැයි හඳුනාගත් පුද්ගලයන් අන් අයගෙන් වෙනකොට තැබීමටත් සේවකයන් සියලුදෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ පහසුකම් ලබා දීමට පියවර ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉහත කී ඒකාබද්ධ ගණනය කිරීම් අනුව, සිංගප්පූරුවේ විශාල නිදන ශාලාවල ජීවත් වන 323,000ක් වූ සමස්ත සංක්‍රමණික සේවක සංඛ්‍යාවෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් වන 152,000කට වෛරසය අසාදනය වී ඇති බව සඳහන් වෙයි.

PCR පරීක්ෂණ හරහා සිංගප්පුරුව තුළ හඳුනා ගත් 58,341ක්වූ ආසාදිතයන් ප්‍රමාණයෙන් 93%ක් ම වාර්තා වුයේ සංක්‍රමණික සේවක ප්‍රජාව අතරිනි.

නමුත් මෙම සේවකයන් අතුරින් 65,000කුට පමණ, කොවිඩ් 19 මීට පෙර වැළඳී තිබුනිදැයි සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ තවමත් සිදු කර නොමැත. එම නිසා ඉදිරියේ දී ඉහත කී ප්‍රතිශතය තවත් ඉහළ යා හැකිය.

“අලුතින් නිකුත් වී ඇති අංකවලින් අප පුදුමයට පත්වන්නේ නැහැ. සේවකයෙකුට රෝගය වැළඳුනු විට ඔවුන් වෙන් නොකළ බවත් කාමරය ඇතුළට වෙලා ඉන්න කියල උපදෙස් දුන් බවත් සේවකයන් අප සමඟ පැවසුවා. ඒ ආසදිතයා ඉන්න කාමරේ තවත් කීප දෙනෙක් ම ජීවත් වෙනවා.” ඇලෙක්ස් ආවු පැවසීය.

“කොහොම නමුත් මේක තමයි ඉතිහාසය. දැන් අපේ වැඩි සැලකිල්ලට භාජනය වෙලා තියෙන්නේ, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව ඔක්තෝම්බර් මාසේ ඉඳල කිසිම ආසාදිතයෙක් වාර්තා වෙලා නැතිනම් මේ සංක්‍රමණික සේවකයන් තවදුරටත් සිරකරුවන් සේ තබනවාද කියන එක ගැනයි.”

ඔහුගේ තර්කය වන්නේ, ආසාදිතයන් වාර්තා වීම නතර වී ඇත්නම් සහ සියලු දෙනා දෙසතියකට වරක් පරීක්ෂා කෙරෙන්නේ නම්, තවදුරටත් මොවුන් දැඩි සීමා යටතේ සිරකර තැබීමට හේතුවක් නොමැති බවය.

සිංගප්පූරුවේ සාර්ථකත්වය සහ අසමත්භාවය

සිංගප්පූරුවෙන් කොරෝනාවෛරස් ආසාදිතයෙකු මුලින් ම වාර්තා වූයේ පසුගිය ජනවාරි මාසයේ දීය. ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා දියත් කෙරුණු වැඩසටහන ඔස්සේ නව ආසාදිතයන් සොයා ගැනීම සිදු විය.

නමුත් සංක්‍රමණික සේවකයන් අතර රෝගය ව්‍යාප්තවන්නට පටන් ගැනීමත් සමඟ සමාජය පුරා හඳුනා ගන්නා ආසාදිතයන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ඒ සියලුදෙනා ම හුදෙකලා කිරීමටත් ආශ්‍රිතයන් හඳුනා ගැනීමටත් බලධාරීන්ට අපහසු විය.

PCR පරීක්ෂණ හරහා සිංගප්පූරුව තුළ හඳුනා ගත් 58,341ක්වූ ආසාදිතයන් ප්‍රමාණයෙන් 93%ක් ම වාර්තා වුයේ සංක්‍රමණික සේවක ප්‍රජාව අතරිනි.

ආසාදිතයන් ඉහළ යාමේ ශීඝ්‍රතාවයට ප්‍රතිචාර වශයෙන් මෙම සංක්‍රමණික සේවකයන් දහස් ගණනක් වසන විශාල නවාතැන් පසුගිය අප්‍රේල් මාසයේ පටන් නිරෝධායනයට ලක් කළේ එම සේවකයන් තම නවාතැනට කොටු කිරීමෙනි.

“මේ වන විට, නිරෝගී සේවකයන්ට අවසර ඇත්තේ තම රැකියා ස්ථානයට යාමට පමණයි, ඔවුන් වෙනුවෙන් අවසරය ලබා දී ඇති වෙළඳ සැලකට පමණක් යාමට ඉඳහිට අවස්තාවක් ලැබෙනවා.” ඇලෙක්ස් ආවු පවසයි.

“මේ සේවකයන්ට සැලකුම් ලැබෙන්නේ හිරකාරයන්ට වගේ. සංචරණය අහුරලා ශ්‍රමය ලබා ගන්නවා.”

මෙම සේවකයන්ගේ “නවාතැන් තුළ ආසාදිතයන් ඇතිවීම පාලනය කර ඇති” හෙයින් ඒ බව සලකා බලා ඔවුන්ට දමා ඇති සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමට පියවර ගන්නා බව පසුගිය සතියේ දී සිංගප්පුරු බලධාරීහු පැවසූහ.

ලබන වසරේ පළමු කාර්තුව වන විට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඇතැම් සංක්‍රමණික සේවකයන්ට මසකට වතාවක් සාමාන්‍ය ජනතාව අතරට යාමට අවසරය ලැබෙනු ඇත.

(බි.බී.සී සංදේශය)