විදෙස්ගතව සිටින ලාංකිකයින්ට නොමිලේ මව්බිමට එන්න අවස්ථාවක්- මේ ගැන ඔබ දැනුවත්ද?

විදෙස්ගතව සිටින ලාංකිකයින්ට නොමිලේ මව්බිමට එන්න අවස්ථාවක්- මේ ගැන ඔබ දැනුවත්ද?

කිසිදු මුල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අඛණ්ඩව පහසුකම් සපයන බව විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කර තිබේ.

සමාජ මාධ්‍යවල පළවන අසස්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, විදේශයන්හි පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති බවය.

එලෙස පැමිණෙන පුද්ගලයින් නොමිලේ රජයේ පහසුකම් මත නිරෝධායනය කරනු ලබන බවත් මෙරටට පැමිණීමට නියමිත ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් අවධානම් මට්ටම අනුව ප්‍රමුඛත්වය ලබා දී ආපසු ගෙන්වා ගැනීම සිදුකරන බවත් ජයනාත් කොළඹගේ මහතා පෙන්වාදෙයි.

දේශීය නිරෝධායන සහ වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිත වී ඇති අවස්ථාවලදී එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා ගෙවීම් පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් පමණක් බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

විදේශගත ශ්‍රමිකයින් ආරක්ෂිතව නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදාළ ගුවන් ගමන් ලබා ගැනීමේ හැකියාව සහ ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අනුමැතිය මත තානාපති කාර්යාලයන් ,විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එහි නියෝජිතයන් ද සමඟ එක්ව කටයුතු කරන බවද ජයනාත් කොළඹගේ මහතා කියා සිටී.