විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිනපතා දිවයිනට රැගෙන ඒමේ ක්‍රියාවලිය ඇරඹෙයි

 විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිනපතා දිවයිනට රැගෙන ඒමේ ක්‍රියාවලිය ඇරඹෙයි
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිටින ශ්‍රමිකයින්  13 වෙනි දිනයේ සිට දිනපතා රැගෙන ඒමට සැලසුම් කර තිබේ.
 
රජයේ නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ වන 300 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස දිවයිනට දිනපතා පැමිණෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
 
12 වෙනි දිනයේ සිට මුදල් ගෙවා සහ මුදල් නොගෙවා පුද්ගලයින් 66,000ක පිරිසක් මෙරටට පැමිණීමට ලියාපදිංචි වී ඇති බව සදහන් වේ.
 
මේ අතර දෛනිකව මෙරටට රැගෙන එන විදෙස්ගත ශ්‍රමිකයින් ඉහළ යෑමත් සමග ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.
 
මේ වනවිට ත්‍රිවිධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 75 ක් මෙරට තුළ ක්‍රියාත්මක වේ.
 
ඒ අනුව මෙම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටිය හැකි දාරිතාව 3000 සිට 6000 දක්වා ඉහල නංවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
 
එමෙන්ම මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල 6267 දෙනෙකු නිරෝධායනය වෙමින්  සිටින බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.