ලෙබනනයේ සිට ශ්‍රී ලංකාව එන්න ජාවාරම් කරුවන්ට මුදල් දෙන්න එපා

ලෙබනනයේ සිට ශ්‍රී ලංකාව එන්න ජාවාරම් කරුවන්ට මුදල් දෙන්න එපා

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දැනුම් දෙයි.

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මුදල් ජාවාරමක නිරතවන බවට තම තානාපති කාර්යාලයට පැමිණිලි ලැබෙන බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මෙලෙස මුදල් එකතු කරන්නේ තානාපති කාර්යාලයද එය රජයේ අනුදැනුම මතද යන්න මෙම ජාවාරමට හසුවු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිරන්තරව තානාපති කාර්යාලයෙන් විමසා ඇත.

මේ සම්බන්ධව ශ්‍රී ලාංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර සිටින්නේ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා මුදල් එකතු කිරිමට කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට බලය හෝ අවසර ලබා දි නොමැති බවය. එබැවින් මෙවැනි ජාවාරම් කරුවන්ට මුදල් ලබා දිමෙන් වැළකෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

මේ අතර ලෙබනන් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබැස්සවීමේ අවසරය අවශ්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබියදී, ඇතැම් ගුවන් ටිකට්පත් නියෝජිතයින් විසින් මගින්ට ගුවන් ටිකට්පත් අලෙවිකරණ බවටද තානාපති කාර්යාලය නිවේදනය කරයි. බීරූට් ගුවන් තොටුපල මගින්ට සීමා කර ඇති අතර, ගුවන් යානා අසුන් ගැනීම් පත්‍ර (Boarding Pass) නිකුත් කරනු නොලැබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය නොමැතිව ගුවන් යානා ගොඩබැස්සවීමට නොහැකි වන අතර, ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා අවසරය අවශ්‍ය බව පෙන්වා දෙයි.