විදේශ රැකියා ක්ෂේත්‍රය නොසිතූ අර්බුදයක

විදේශ රැකියා ක්ෂේත්‍රය නොසිතූ අර්බුදයක

තානාපති කාර්යාලවලට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් ආපසු ගෙන්වා ගැනීම හේතුවෙන් ‍විදේශ රැකියා කෙෂත්‍රය කඩා වැටීමකට ලක්ව ඇතැයි බලපත්‍ර ලාභී විදේශ රැකියා ඒජන්සිකරැවන්ගේ සංගමයේ (ඇල්ෆියා) සභාපති එම්.එස්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

රැකියා ඇණවුම් ලබාගැනීමේ සිට ඒ ඒ රටවල සේවය කරන ශ්‍රී  ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම දක්වා කිසිදු කටයුත්තක් සිදුනොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් 126 දෙනක් ‍විදේශ රටවල සිටි නමුත් මේ වනවිට සිටින්නේ 16 දෙනෙකු පමණක් යැයි පෙන්වා දුන් ඒ මහතා ඩුබායි ඕමාන් කටාර් යන රටවල් හැර අනෙක් සියලු රටවල සිටින්නේ කම්කරුවකු හෝ රියැදුරකු පමණකැයි ද කියා සිටියේය.

කාර්යංශය පාඩු පිට පවත්වාගෙන යන බැවින් මෙසේ ‍නිලධාරින් ගෙන්වා ගත් බව අමාත්‍යවරයා පවසතත් කාර්යංශය කිසිසේත්ම පාඩු පිට පවත්වාගෙන යන්නේ නැතැයි ද රුපියල් බිලියන 12 ක මුදල් තැන්පතුවක් ද කුවේට් වන්දි මුදලේ රුපියල් බිලියන තුනක් ද ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ඇල්ෆියා සභාපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ රේණුකා හෝටලයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා විදේශ රටවලට නිලධාරින් යැවීමේ දී ඒ ඒ රටවල භාෂාව දන්නා හා ඩිප්ලෝමාව ඇති නිලධාරින් යැවිය යුතු යැයි අමාත්‍යවරයා කියන නමුත් තම සංගමය ඊට විරුද්ධ බවත් යැවිය යුත්තේ ඉහත සුදුසුකම් ඇති වසර දහයක වත් කාර්යංශය තුළ පළපුරුද්ද ද ඇති නිලධාරින් පමණකැයි ද කියා සිටියේය.

එවැනි සුදුසුකම් නැති 40 දෙනෙකු යැවීමේ උත්සාහයක් ගැන මේ වනවිටත් වාර්තා වී ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒජන්සිකරැවන් පිටරටින් එන මුදල් වංචාකරන බවට අමාත්‍යවරයා චෝදනා කර ඇතැයි ද එසේ වංචා කර ඇතැයි ඔප්පු වුවහොත් තමන් ඒජන්සියේ ලියාපදිංචිය අවලංගු කරගන්නා බවත් කී සභාපතිවරයා එවැනි චෝදනාවක් ඔප්පු කර ගත නොහැකි වුවහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු යැයි තමන් යෝජනා කරන බවද කියා සිටියේය.

මේ කඹ ඇදිලිවලින් දුක් විදින්නේ අහිංසක වැසියන් යැයි කී ඔහු ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු රජය වහා මේ පිළිබඳ මැදිහත්ව කටයුතු කළ යුතු යැයි ද කියා සිටියේය.