ඔබ විදෙස්ගත අයෙක්ද? ඔබේ බැංකු ගිණුම ජාවාරම්කරුවන්ගෙන් බේරා ගන්න

ඔබ විදෙස්ගත අයෙක්ද? ඔබේ බැංකු ගිණුම ජාවාරම්කරුවන්ගෙන් බේරා ගන්න

ඇමරිකාව ප්‍රමුඛ විදේශයන්හි සිටින අයගේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් පිවිස රුපියල් කෝටි එකසිය හතළිහක පමණ මුදල් වෙනත් ගිණුම්වලට බැරකර ඇති ජාවාරමක ප්‍රධාන සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (23 වැනිදා) වව්නියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

වවුනියාව වෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සමාජ සේවා සංවිධානයක්ද පවත්වාගෙන යන්නෙකි.

මෙම සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමකට රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ පනස් අටදහස් තුන්සිය අනූනවයක මුදලක් ද බැර වීමේ සිද්ධියට අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

විදෙස්ගත පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට හොරෙන් ඇතුළු වී (හැක් කර) රුපියල් කෝටි 140ක මුදලක් වංචනික අන්දමින් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ බැංකු ගිණුම්වලට බැරකිරීමට අදාළව 2020 වසරේ අප්‍රේල් මාසයේදී ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් ගැනද පුළුල් විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ ආකාරයේ වංචනික ක්‍රියාදාමයන් කළ පුද්ගලයන් තිස්හය දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා ගනුදෙනු කිරීමේදී ​මේ ආකාරයේ අපරාධ සිදුවන බව හෙළිවී ඇත.

මේ අතර වවුනියාව බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පුද්ගලයකුගේ බැංකු ගිණුමකට රුපියල් කෝටි 1000ක් ද මන්නාරම ප්‍රදේශයේ අවුරුදු 22ක තරුණියකගේ ගිණුමකට රුපියල් කෝටි 100ක්ද සැක සහිත අන්දමින් බැර වී තිබෙන බවද මීට පෙර හෙළිදරව් විය.

මූලාශ්‍රය -අරුණ