සංචාරකයින් සඳහාවන මාර්ගෝපදේශ මාලාව යලිත් වෙනස් වෙයි

සංචාරකයින් සඳහාවන මාර්ගෝපදේශ මාලාව යලිත් වෙනස් වෙයි

මෙරටට සංචාරකයින් ගෙන්වීම සදහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. 

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තවයි. 

ඒ, ජෛව ආරක්ෂිත සංචාරක බුබුල තුළ දින 14 ක නිරෝධායනය සම්පූර්ණ කර ඇති හා පූර්ණ එන්නත ලබා ගත් සංචාරකයින්ට සහ සංචාරක හෝටල් සදහා බලපැවැත්වෙන පරිදියි. 

ඒ අනුව සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගත් සංචාරකයින්ට සහ ජෛව ආරක්ෂිත සංචාරක බුබුලේ දින 14 ක් සම්පූර්ණ කළ අයට බුබුලෙන් පිටතට  ගොස් රටේ සෙසු ප්‍රදේශවලට යාමට නිදහස ලබාදී තිබෙනවා. 

ඔවුන්ට ඕනෑම සංචාරක හෝටලයකට ඇතුළු වීමට ද අවසර හිමි වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

විදේශීය සංචාරකයින් සඳහා සේවා සපයන සංචාරක හෝටල් සඳහා ද නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව හෝටල් කළමනාකරණය මඟින් පිළිගත යුත්තේ එන්නත් සහතිකය සහිත සංචාරකයින් පමණයි. අනිවාර්ය නිරෝධායනය සම්පූර්ණ කළ සංචාරකයින්ට හෝටලයේ පහසුකම් ලබා ගත හැකියි. 

අවන්හල්, මත්පැන්හල් ඇතුළු පොදු පහසුකම්, අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ අවසර ලත් උපරිම ධාරිතාවට අනුකූලව සංචාරකයින් සඳහා විවෘතව තැබිය හැකි වනවා. 

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය සහිත සංචාරක හෝටල් තුළදී සංචාරකයින්ට මත්පැන් පානය කිරීමට ද අවසර දී තිබෙනවා.

මෙලෙස පැමිණෙන විදෙස් සංචාරකයින්ට මෙරට සංචාරක ස්ථාන නැරඹීමට, අදාළ හෝටලය මඟින් ප්‍රවාහන පහසුකම් ලබාදීමටද අවසර ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. 

එන්නත් නොකළ හෝ අර්ධ වශයෙන් එන්නත් නොකළ සංචාරකයින් සඳහා ජෛව ආරක්ෂිත සංචාරක බුබුල ක්‍රියාත්මක වන්නේ ආරක්ෂිත සහ ආරක්ෂිත මට්ටමේ 1 සහ 2 යන මට්ටමේ හෝටල් සදහා පමණයි.

සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පැවසුවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථක වීමත් සමග මෙරට සංචාරක ක්ෂේත්‍රයේ යළි පිබිදීමක් සිදුවනු ඇති බවයි. 

මේ අතර මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙසයි   ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ. 

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳීම අනිවාර්ය නොකිරීම, දිවයිනට පැමිණීමේදී පැය 72කට පෙර PCR පරීක්ෂණයක් සිදුකිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත්.