නොවැම්බරයේ සිට විදේශිකයින්ට ඕස්ට්‍රේලියාවේ දොරගුළු විවර වෙයි

නොවැම්බරයේ සිට විදේශිකයින්ට ඕස්ට්‍රේලියාවේ දොරගුළු විවර වෙයි
මාස 18 කට පසු පළමු වරට සංචාරකයින් වෙනුවෙන් සිය රට යළි විවෘත කිරීමට ඕස්ට්‍රේලියාව තිරණය කර තිබෙනවා. ඒ, නොවැම්බර් මාසයේ සිටයි. කෙසේවෙතත් මෙලෙස එරටට පැමිණීමට අවසර ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ සංචාරකයින්ට පමණයි.

 

මීට පෙර ඕස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවසර හිමිව තිබුණේ එරට පුරවැසියන්ට සහ අවසර ලත් පුද්ගලයින්ට පමණයි. රටින් බැහැර යාමටද දැඩි සීමා පනවා තිබුණා. කොවිඩ් පාලනයට එය හේතු වුවද සිය සමීපතයින්ගෙන් වෙන්වී සිටීමට සිදුවීම හේතුවෙන් මෙම තීරණය සම්බනධයෙන් විවාදාත්මක තත්ත්වයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ එන්නත්කරණය සියයට 80 සම්පූර්ණ කළ ප්‍රාන්තවලට පූර්ණ සංචාරක නිදහසක් හිමිවන බවයි. 

ඕස්ට්‍රේලියාවට පැමිණිමෙන් පසු සංචාරකයින් ඕස්ට්‍රේලියානු ඩොලර් 3,000 ක් ගෙවා දින 14 ක අනිවාර්්‍ය හෝටල් නිරෝධායනයකට ලක්විය යුතු වුණා. කෙසේවෙතත් එම තීරණයද ක්‍රමයෙන් ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව සංචාරකයින් දින 07 ක නිවෙස් නිරෝධායනයකට ලක් කරනු ඇති.

එහෙත් ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් පවසන්නේ ඕස්ට්‍රේලියාව විවෘත කළද සංචාරකයින් ගෙන්වීමේ සිය සේවා වේගවත් කිරීමේ අදහසක් නොමැති බවයි. සිඩ්නි, මෙල්බර්න් සහ කැන්බරා යන නගර මේ වන විටත් සම්පූර්ණයෙන් ම වසා දමා තිබෙනවා.