බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නොමිලේ එන්නත් දීම ගැන ස්තුතිය පළ කරයි

බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නොමිලේ එන්නත් දීම ගැන ස්තුතිය පළ කරයි

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස (2021 ඔක්තෝබර් 21 වැනි දින) පැවැත්වූ බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍යතා සම්බන්ධයෙන් වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් යුත් දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුම සඳහා 2009 වර්ෂයේ දී දෙරටම අත්සන් තැබූහ.

දෙරට අතර පවත්නා සබඳතා නව සහයෝගිතා සහිත අංශ ඔස්සේ  තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාවේ දී දෙරටෙහි අන්‍යෝන්‍ය වාසි සඳහා වෙළෙඳාම, ආයෝජනය, මිනිස් බලය, අධ්‍යාපනය, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, නිපුණතා සංවර්ධනය  සහ වෘත්තීය පුහුණුව යනාදී අංශ ඇතුළු අංශ කිහිපයක් හඳුනා ගන්නා ලදී. තවද, හඳුනාගත් අංශවල පවතින මෙවැනි සහයෝගීතා විධිමත් කිරීම සඳහා නව ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමට මෙන්ම අත්සන් කළ ගිවිසුම් නැවත සලකා බැලීමට ද මෙම හමුවේ දී යෝජනා කෙරිණි.

for migrnt 2

බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් බහරේනය සඳහා ලබා දෙන දායකත්වයත්, ඔවුන්ට නොමිලයේ එන්නත් ලබා දීමට මෙන්ම ඔවුන්ගේ සුබසිද්ධිය තහවුරු කිරීම සඳහා බහරේනය ඉටු කරන කැපවීම පිළිබඳවත් බහරේන නියෝජිත පිරිස විස්තර කළහ. බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නොමිලයේ එන්නත් ලබා දීම සඳහා පහසුකම් සැලසීම ඇගයූ විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා බහරේන් රජයට සිය ස්තුතිය පළ කළ අතර, නිපුණ හා අර්ධ නිපුණ ශ්‍රී ලාංකිකයන් සඳහා බහරේනය තුළ පවත්නා රැකියා අවස්ථා ගවේෂණය කිරීමට උනන්දු වන බවත් සඳහන් කළේ ය.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දුන් අතර, බහරේන් විදේශ කටයුතු අමාත්‍යංශයේ උප ලේකම් (දේශපාලන කටයුතු) ආචාර්ය ෂෙයික් අබ්දුල්ලා බින් අහමඩ් අලි කලීෆා මැතිතුමා විසින් බහරේන් පාර්ශ්වයට නායකත්වය ලබා දෙන ලදී.

බහරේන් නියෝජිත පිරිසට නවදිල්ලියේ වෙසෙන ශ්‍රී ලංකා බහරේන් රාජධානියේ තානාපති අබ්දුල්රහ්මාන් අල්-කවූඩ් මැතිතුමා, අප්‍රිකානු-ආසියානු කටයුතු අංශයේ ප්‍රධානී තානාපති ෆාතිමා අබ්දුල්ලා අල්-ධාන් මැතිනිය, අප්‍රිකානු-ආසියානු කටයුතු අංශයේ පළමු ලේකම් ෆහාඩ් මොහොමඩ් අල්-ෆයිහානි මහතා සහ බහරේන් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු ඇතුළත් වූ අතර, බහරේනයෙහි ශ්‍රී ලංකා තානාපති ප්‍රදීපා සේරම් හා විදේශ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර දෙවන දේශපාලන උපදේශන සැසිය 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත්වීමට නියමිත ය.