සංක්‍රමණික කම්කරුවන් "රට විරුවන්ද? මිනිස් බෝම්බද?"

සංක්‍රමණික කම්කරුවන් "රට විරුවන්ද? මිනිස් බෝම්බද?"

දෙසැම්බර් 18 ජාතන්තර සංක්‍රමණික දිනයයි. සංක්‍රමණික කම්කරුවන් "රට විරුවන්ද? මිනිස් බෝම්බද?" මැයෙන් ප්‍රොටෙක්ට් සංගමය විසින් සංවිධානය කරන ලද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ වීදී නාට්‍ය දැක්මක් ඊයේ හැටන් ප්‍රදේශයේදී පැවැත්වුණා. මේ සඳහා ප්‍රදේශ වාසින් විශාල පිරිසක්, ගුරු සමිති නියෝජිතයන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් පිරිසක් සහභාගී විය.  

රට තුළ ඇතිව ඇති මූල්‍ය අර්බුධය තුළ ඩොලර් හිඟය ඉතිහාසයේ කවරදාටත් වඩා ලංකාවට දැනෙමින් ඇත. රටට ලැබෙන විදේශ විනිමය වලින් විශාලතම පංගුවකට සැබෑ කොටස් කරුවන් වන්නේ විදෙස් ශ්‍රමිකයන් බව  අවිචාරවත් පාලකයන්ට සහ අභිමානවත් ජාතියට නැවත නැවත මතක් කිරීමට සිදු වී ඇත. තමන්ගේ නිර්ධය දේශපාලනික අවශ්‍යතා මත, බිලියන ගණනින් විදේශ විනිමය රටට ගෙන එන ශ්‍රමිකයන්ව පාවිච්චි කිරීම සහ රැවටීම පාලකයන්ට ඉතා හුරු පුරුදු කාර්යයයකි. මෙය වනාහී දිනෙන් දින අගාධයටම යන කිසිදු ආකාරයකට රටේ අභිවෘද්ධිය ගැන සිතන පාලකයන් සිටින රාජ්‍යක ලක්ෂණයක් නොවේ.

ගෝලීය වසංගතය හමුවේ රැකියාව අහිමිව එම සේවා ස්ථාන වලින් සහ රට වලින් ශ්‍රී ලාන්කීය විදෙස් ශ්‍රමිකයන් දොට්ට දමද්දී ලංකාවේ අවස්ථාවාදී දේශපාලකයන් සහ අභිමානවත් ජාතිය විසින් ඔවුන් මිනිස් බෝම්බ ලෙස නම් කර අතරමං කර දැමූහ. මාස ගණන් තිස්සේ දුක් විඳිමින් බඩ ගින්නේ විලාප දෙමින් තමන්ව තමන්ගේ මව් බිමට ගෙන එන ලෙස ආයාචනා කිරීමට රට විරුවන්ට සිදු වූ බව අමතක නැත. රටේ ලොක්කන් පත් කිරීමට ඡන්දය හිඟා කන විට, රටේ සම්පත් සූරා කා නැත්තටම නැති වූ පසු ඩොලර් අවශ්‍ය වූ විට "රට විරුවන්" බවට පත් වන විදෙස් ශ්‍රමිකයන්ට අපි මේ පණිවිඩය ගෙන යමින් සිටිමු.

සහෝදර කම්කරුවනි ඔබව රට විරුවෙක් කරන්නටද, මිනිස් බෝම්බයක් කිරීමටද තවමත් අප අයිතිය දී ඇත්තේ මේ බඩගෝස්තරවාදී නරුම දේශ පාළුවන් හටයි. මෙය වෙනස් කළ හැකියි. ඔබ මුහුණ දෙන අනේකවිධ අර්බුධයන්ගෙන් මිදීමට ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සාමූහිකව පෙළ ගැසෙමු. විදෙස් ශ්‍රමිකයින් අයිතිවාසිකම් සහිත සැබෑ ගෞරවණීය පිරිසක් බවට පත් කරමු.

ප්‍රොටෙක්ට් සංගමය. 

3

4

5

6