යුක්රේනයේ රැඳී සිටින ලාංකිකයින් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන්

යුක්රේනයේ රැඳී සිටින ලාංකිකයින් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන්
යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 20 දෙනෙකු මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව යුක්‍රේන, තුර්කි සහ ජොර්ජියාහි ශ්‍රී ලංකා තනාපති එම් ආර් හසන් පවසනවා. මේ වන විට යුක්‍රේනය තුළ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගණන 59ක්.
 

යුද ගැටුම් ආරම්භ වීමට සතියකට පමණ පෙර යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉවත් වන ලෙසයි තනාපතිවරයා දැනුම් දී ඇත්තේ. ඒ අනුව බොහෝ පිරිසක් යුක්‍රේනයෙන් ඉවත් වූ අතර දැනට ඉතිරි වී ඇති ශ්‍රී ලාංකිකයින් 59 දෙනා එරටින් පිටත්ව නොයන බවට දැනුම් දී තිබෙනවා. එහෙත් ඉන් පුද්ගලයින් 20 දෙනෙකු ඊයේ උදෑසන යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට අවශ්‍ය බවයි දැනුම් දී ඇත්තේ. 



වැඩබිම තවත් පුවත් කියවන්න...



යුක්‍රේනයේ සියලු ගුවන් ගමන් මේ වන විට නවතා දමා තිබීම හේතුවෙන් එම පුද්ගලයින්ට යුක්‍රේනයෙන් පිටත් වීමට සිදු වන්නේ ගොඩ බිම් මාර්ග හරහා පෝලන්තයට පැමිණීමෙන් පසුවයි. ඒ අනුව මේ වන විට තනාපති කාර්යාලය විසින් එම ශ්‍රී ලාංකිකයින් 20 දෙනාගේ සියලු තොරතුරු යුක්‍රේන පෝලන්ත දේශසිමා බලධාරීන් වෙත යොමු කර තිබෙනවා. එම පුද්ගලයින් වෙත දැනුම් දී ඇත්තේ අවස්ථාවක් ලැද සැනින් යුක්‍රේන - පෝලන්ත දේශ සීමාව වෙත පැමිණීමට කටයුතු කරන ලෙසයි. 

මේ වන විට යුද ගැටුම් පවතින්නේ යුක්‍රේනයේ නැගෙනහිර දේශ සීමාව ආශ්‍රිතවයි. යුක්‍රේන පෝලන්ත දේශ සීමාව යුක්‍රේනයේ බටහිර ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. එම දේශ සීමාව ආශ්‍රීතව මේ වන විට කිසිදු ගැටලුවක් නොමැති බවයි තනාපතිවරවයා වැඩිදුරටත් සඳහන් කළේ. 

එබැවින් යුක්‍රේනයෙන් පිටත්ව යාමේ අපේක්ෂාවෙන් පුද්ගලයින් විශාල පිරිසක් යුක්‍රේන බටහිර ප්‍රදේශයේ පිහිටි පෝලන්ත යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ රැදී සිටිනවා.

මේ හේතුවෙන් මෙම දේශසිමාව ආශ්‍රීතව දිගු පෝලිම් දක්නට ලැබෙන බවද වාර්තා වනවා. කෙසේවෙතත් යුක්‍රේනය තුළ සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වට්ස්ඇප් හරහා සම්බන්ධවෙමින් ඔවුන් නිරීක්ෂණය කරමින් සිටින බවයි යුක්‍රේන, තුර්කි සහ ජොර්ජියාහි  ශ්‍රී  ලංකා තනාපති එම් ආර් හසන් වැඩිදුරටත් සඳහන් කළේ.