සංවිධානාත්මක ජාවාරම්කරුවන්ගේ බෝට්ටුවෙන් රට යවන සෙල්ලම

සංවිධානාත්මක ජාවාරම්කරුවන්ගේ බෝට්ටුවෙන් රට යවන සෙල්ලම

විදෙස් රටවලට යවන බව සඳහන් කරමින් එම සංක්‍රමණිකයින්ගෙන් මුදල් ලබාගන්නා පාර්ශ්වයන් විසින්ම, ඔවුන්ව ආරක්ෂක අංශ වෙත හසුකිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බවට ආරක්ෂක අංශ මේ වනවිට හෙළිදරව් කරගෙන තිබේ.

බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා නීතිවිරෝධී අයුරින් සංක්‍රමණයවීමට මෙරට ඇතැම් පිරිස් උත්සාහ දරන බවට පසුගිය දින කිහිපය පුරාම වාර්තා විය.

ඒ අතරින් බහුතරයක් නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ රටේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තමන් රටෙන් පිටවීමට උත්සාහ කළ බවයි.

එමෙන්ම නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වලදී වසරේ මේ දක්වා කාලය තුළ බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර ළමුන් සහ කාන්තාවන් ද සිටින බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ආරක්ෂක අංශ පසුව සොයාගෙන ඇත්තේ හලාවත, මීගමුව, මඩකලපුව සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම මිනිස් ජාවාරම සිදුකරන බවය.

එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 10ක මුදලක් ජාවාරම්කරුවන් ලබාගන්නා බවත්, පිරිස බෝට්ටුවට ඇතුළුවීමෙන් අනතුරුව ජාවාරම්කරුවන් විසින්ම ආරක්ෂක අංශවලට සංක්‍රමණිකයන් පිළිබඳව තොරතුරු ලබාදෙන බවත් මේවන විට අනාවරණ කරගෙන තිබේ.

එමෙන්ම තවත් කුඩා බෝට්ටු භාවිත කරන පිරිසක් ගොඩබිම සිට මුහුද මැද නවතා ඇති ට්‍රෝලර් යාත්‍රා වෙතට රැගෙන යාමට රුපියල් අසූ දහසත් ලක්ෂයත් අතර මුදලක් ලබාගන්නා බවත් ආරක්ෂක අංශ වෙත වාර්තා වී ඇත.

මේ අතර පසුගිය දා නීති විරෝධී අයුරින් බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන නැවත මෙරටට පිටුවහල් කර තිබේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තමන්ට අඩුම තරමින් ක්‍රිස්මස් දූපතේ වැලිකැටයක්වත් පෑගීමට නොහැකි වූ බවත්, තමන් සතුව තිබූ සියලුම දේපළ ජාවාරම්කරුවන්ට බිලි වූ බවය.

(ශ්‍රී ලංකා මිරර්)